Monday, May 2, 2022

 අද ලෝක ජනමාධ්‍ය දිනයයි. 




ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය අදට යෙදී තිබේ. ලෝක මාධ්‍ය නිදහස දිනය සෑම වසරකම මැයි 03 දිනට යෙදී ඇත. මෙම දිනය සමරනු ලබන්නේ නිදහස් මාධ්‍යයක වැදගත්කම අවධාරණය කිරීමටය.

දැනුවත් තීරණ ගැනීමට පුරවැසියන්ට තොරතුරු සෙවීමට, ලබා දීමට සහ ලබා ගැනීමට ඇති නිදහස ඉතා වැදගත් වේ. නිවැරදි තොරතුරු බෙදා හැරීමේ ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ මාධ්‍ය නිදහසයි.

මෙවර එහි තේමාව වන්නේ ඩිජිටල් ආධිපත්‍යය යටතේ ජනමාධ්‍යවේදය යන්නයි.

1991 වසරේ පැවති යුනෙස්කෝ 26 වන මහ සමුලුවේදී සම්මත වූ යෝජනාවක් අනුව 1993 වසරේදි ජගත් මහා මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සමඟයි. සෑම වසරකම මැයි 03 වනදා ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය සමරනු ලබයි.

අද දවස ජීවිතයෙන් සමුගත් මාධ්‍යවේදීන් සිහිපත් කරන දවසක්.ලොව පුරා මාධ්‍ය නිදහස ඇගයීමට, මාධ්‍ය ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ක්‍රියාවේදී ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන්ට උපහාර දැක්වීමේ දිනයකි.

“මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි.”  -ජෝර්ජ් ඕවල්-

(මූලාශ්‍ර : යුනෙස්කෝ, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හා ටයිම් සඟරාව)  

ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අදහස් පළ කිරීමේ නිදහස හා සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා මෙන්ම, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ලොව පුරා බලධාරීන් විසින් ගරු කිරීම සහතික කරනු වස්, අද දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි.

කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය අද සමරන විට මාධ්‍යවේදී ප්‍රගීත් ඒකනැලිගොඩ අතුරුදහන් වී දින100ක් ගත වේ. මෙම තත්වයන් වෙනස් නොවුනහොත් පශ්චාත් යුධ සමය ඉතා බිහිසුණු සමයක් වීමට තිබෙන හැකියාව වැඩි ය. මෙය වෙනස් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට ප්‍රභල කාර්‍යයක් කිරීමට ඇති අතර ජනයා තුළත්’, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු පිළිබඳව ඇති වටිනාකම් වැඩි කර ගනිමින් වර්ධනය කර ගැනීමත් වැදගත් ය.

ආණ්ඩුවල අවශ්‍යතාව මත අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කෙරෙමින් තිබෙන්නේ එසේ ය. ඊට ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හෝ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව කියා වෙනසක් නැත. සියල්ලන් යන්නේ එක ම පාරේ ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කෙරෙන්නේත්, මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් අධිආරක්ෂිත කලාපයක් මැදින් රැගෙන ගොස්, ඝාතනය කර, සිරුර කොටස්වලට වෙන් කර මුහුදට දමන්නේත් ඒ එක ම පාර නිසා ය.

ලංකාවේදී නම්, පසුගිය වසර 15 ක කාලයේ උදාහරණ රැසක් පවතී. මේ වසර 15 ක කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැරගැනීම්, වධහිංසා කිරීම් සහ පහරදීම් සිද්ධි 130 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් අතරින් යම් හෝ සාධනීය අපරාධ විමර්ශනයක් සිදු කෙරුණේ සිද්ධි හයකට අදාළව පමණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට පහර දී වධහිංසා කිරීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහර දීම සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා කිරීම යන සිදුවීම් ඒවා වේ. අනෙකුත් සිද්ධි සියල්ල වැලි යට ය. වැඩිම තර්ජනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධව කිසිදු විමර්ශනයක් සිදු වූයේ නැත.

වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ගෙන යන ජන අරගලය, මේවාට විරුද්ධව කතා කරන ජනමාධ්‍යවේදීන්ට පහර දීමක් මෑතක දී සිදු වුණි. ආණ්ඩුවලට පවතින බලය මේ නිදහස් අදහස් ප්‍රකාශනයට යොදා ගනී. සැබවින්ම ලංකාව තුළ ජනමාධ්‍යවේදීන්ට නිදහස් ප්‍රකාශන අයිතිය පවතින්නේ ද?


1 comment: