පාර්ලිමේන්තුට අදට වසර 40ක්.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ උත්තරිතර ස්ථානය එනම් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව ස්ථාපිත කොට අදට වසර 40 ක් සපිරෙයි.
ශ්‍රී ලංකාව බටහිර ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වන අතර, ලක්දිව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට 1815 දී පත් වුණි. ඉන් පසු ඔවුන් ලංකාව පාලනය කිරීමට විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා වෙන ලදී. ඒ හරහා ලංකාව තුළ ප්‍රථම වරට ව්‍යවස්ථාදායකය බිහි විය. 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකය රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳුන්වා දෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 දී ඉදි වන්නේ ගාලු මුවදොර ඉදිරියේ භූමි කොටසක ය. මෙහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ Austin Woodeson ය. (වර්තමානයේ මෙය ජනාධිපති ලේකම් කාර්යාලය වේ).
1946 දී බ්‍රිතාන්‍යයන් නැවත ගෙන එන සොල්බරී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායකය ලෙස පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුව ලෙසින් නමි විය. 1948 වසරේ දී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස හිමිවෙන අතර 1972 වසරේ මැයි 22 වන දා ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත් වීමේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව නමින් නම් වුණි.
ඒ වන විට ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය. ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීම අනුමැතිය හිමි විය.1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කිරීම මෙසේ සිදු වුණි.
එවකට පාලන බලයේ සිටි, ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබීය.
මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ජපන් සමාගමකට පවරා ඇති අතර එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා වුයේ, ලෝකප්‍රකට ජෙෆ්රි බාවා මහතා ය. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් මුල් කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහ නිර්මාණ ශිල්පයන් සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ. පාර්ලිමේන්තු ඉදි කිරීම් වැඩ නිම වී 1982 අප්‍රේල් මාසයේ 29 වන දින එය, උත්සවකාරයෙන් විවෘත කරනු ලැබීය.
මෙහි විශේෂත්වය වන්නේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත් වීමයි.
පාර්ලිමේන්තුව අලංකාරවත්ව ගොඩනැගී ඇති අයුරු පෙන්වා දුන්නොත්, පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නා වෘක්ෂයන්ගෙන් සපිරි මාර්ගයක් පසු කළ යුතු අතර ගොඩනැගිල්ල තුළට පිවිසීමට පෙර නිල්මහනෙල්වලින් පිරි පාර්ලිමේන්තු පොකුණක් ද, සභා ගර්භයට පිවිසීමේ ආලින්දයක් ද, සභා ගර්භයට පිවිසීමට ප්‍රථම මෙහිදී මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් ද, සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර ඇති බව ද දක්නට ලැබේ.
තව ද පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරල වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකි අතර සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.
No comments:
Post a Comment