Tuesday, September 29, 2020

 සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනයේ ප්‍රබලත්වය


මිනිස් ජීවිතයේ හා සමාජයේ පැවැත්මටත් පවත්වා ගෙන යාමටත් අවශ්‍ය මූලික අංගයක් වන්නේ සන්නිවේදනයයි. මිනිසා උපතට පෙර සිටම සන්නිවේදනයේ යෙදෙන සත්වයෙකි. කෙසේ වෙතත් සන්නිවේදනය ඉතා දිගු කාලීන ඉතිහාසයක් පුරා විකාශනය වී ඇත. ප්‍රාථමික යුගයේ සිට නූතන යුගය දක්වා සන්නිවේදනය විකාශනය වී ඇති අතර එහි දී නිර්වාචික සන්නිවේදනය ප්‍රබල වේ. එදා සිට අද දක්වා විවිධ සන්නිවේදන ස්වරූප පැවතිය ද නිර්වාචික සන්නිවේදනය සන්නිවේදනයේ දී වඩාත් ප්‍රබලත්වයක් ගනී.




නිර්වාචික සන්නිවේදනය ලෙස හැඳින්විය හැක්කේ වචන භාවිතයෙන් තොර සිදුවන සියලුම වර්ගයේ මිනිස් ක්‍රියාවන් ය. ඇල්බට් මෙස්රාබියල් ප්‍රකාශ කොට ඇත්තේ දෙදෙනකු අතර සිදුවන සන්නිවේදනයේදී වඩාත්ම දැකිය හැකි වන්නේ නිර්වාචික සංනිවේදනය වන බවයි. වාචික සන්නිවේදනයේ දී වචන භාවිතා වන අතර අපට එම සන්නිවේදන පාලනය කළ හැකි වුවද නිර්වාචික සන්නිවේදනය අපට එසේ පාලනය කළ නොහැකි ය. නිර්වාචික සන්නිවේදනය ප්‍රකාශ වන ස්වරූප කිහිපයක් පවතී. ඒවා නම්,

  • ශරීර භාෂාව
  • අවකාශය 
  • ස්පර්ශය 
  • පුද්ගල පෙනුම 
  • ගන්ධය 
  • සංඥා සංකේත 
  • ඉඟි හා ඉරියව් යනාදී වශයෙන් ස්වරූප කිහිපය දැක්විය හැකිය ය.
නිර්වාචික සන්නිවේදනය ප්‍රකට වන ප්‍රධාන අවස්ථාවක් වන්නේ ශරීර භාෂාවයි. එනම් මේ කාය භාෂාව වෙයි. එහිදී අපගේ මුහුණ ඇස් යනාදිය මගින් නිර්වාචික සන්නිවේදනය වන බව පෙන්වා දිය හැකි ය. මුහුණේ ඉරියව් මගින් සතුට, දුක, ශෝකය, පිළිකුල, සුහදතාවය, ගෞරව යනාදිය පෙන්නුම් කර ගත හැකිය. නිදසුනක් ලෙස කුඩා දරුවෙකුට කුසගින්නක් දැනුණු විට හඩයි. එවිට දරුවාගේ මව දරුවා අඬන්නේ කුසගින්නට බව හොඳින් දැන ගනියි. මේ නිර්වාචික සන්නිවේදන අවස්ථාවකි. එසේම එහිදී ඇහි බඹ, නලලේ රැලි උස් පහත් වීම මගින් විමතිය, සැකය යනාදී නි වාචික ව නිරූපණය කළ හැකිය. නිදසුනක් ලෙස යම් දෙයකට අකමැති බව පෙන්වීමට නලලේ රැලි කුඩා කිරීම යනාදී මගින් නිර්වාචික සන්නිවේදනය සිදු කරයි. ශරීර භාෂාව තුළ තවත් වැදගත් අංගයක් වන්නේ ඇස් ය. ඇස් මගින් බොහෝ දැ යි නිර්වාචික ව පෙන්නුම් කර ගත හැකිය. මුවින් ප්‍රකාශ කරන වට වඩා ඇස් මගින් වඩාත් පැහැදිලි ලෙස සන්නිවේදනය කරගත හැකි ය. ආදරය, වෛරය, විශ්වාසය, සැකය, බියගුලු තාවය යනාදිය ඇස් මගින් නිරූපණය කළ හැකිය. නිදසුනක් ලෙස "ඔතන තියෙනවා " යන්න ඇස් මගින් පෙන්විය හැකි ය. එසේම ඇස් මගින් සිදු කෙරෙන සන්නිවේදනයේදී කෙනකුගේ පණිවිඩයෙහි සත්‍ය අසත්‍ය භාවය දැකගත හැකිය. මෙම ඇස් මගින් කෙරෙන සන්නිවේදනය රටවල් වලට අනුව වෙනස් ස්වභාවයක් ගනී. එනම් ජපන් සංස්කෘතියේ දී සෘජු බැලුම ඔවුන් දකින්නේ අගෞරවයක් ලෙසිනි. නමුත් අරාබි ජාතිකයන් සෘජු බැල්මට ප්‍රිය කරති. 

නිර්වාචික සංනිවේදනය නිරූපණය වන තවත් අවස්ථාවක් වන්නේ අවකාශයයි. එනම් ඉඩ හා පරතරයයි. පුද්ගලයෙකු සමග කතාබස් කරන විට පවත්වන ඉඩ හා පරතරය මගින් විවිධ දෑ නිර් වාචික ව සන්නිවේදනය කරගත හැකිය. එනම් කුළුපඟ අවකාශයේ දී ළඟම මිතුරන් සමග පෙම්වතා පෙම්වතිය යනාදිය සමඟ දැකිය හැකි ය. ඒ වගේම පෞද්ගලික පරතරය දැකගත හැකි වන්නේ හිතවතෙකු හෝ ආගන්තුකයෙකු සමගය. ඒ වගේම පොදු පරතරය, සමාජ පරතරය යනා දී අවකාශ ද පවතී. අවකාශය ප්‍රකට වන තවත් අවස්ථාවක් ලෙස ආයතනයක මේස භාවිතා කර ඇති ආකාරය ද දැකිය හැක. එනම් ලිපිකරු සදහා වෙනම ද කළමනාකරු සඳහා ඊට මදක් ඈතින් ද යනාදී අවකාශයන් මගින් දැක්වෙන්නේ ඔවුන්ගේ උසස් වීම් පිළිබඳව ය. 

වර්ණ භාවිතය ද නිර්වාචික සන්නිවේදනය අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය. පුද්ගලයෙකු තෝරාගන්නා නැතහොත් කැමති වරණය අනුව කෙනෙකුගේ ස්වරූපය පිළිබඳව නිර්වාචික සන්නිවේදනය වේ. වර්ණ මගින් ආදරය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ ද සන්නිවේදනය වේ. නිදසුනක් ලෙස සුදු වරනය බොහෝදුරට භාවිතා වන්නේ ශෝක ප්‍රකාශන අවස්ථාවන් සදහා ය. එසේ ම අවමංගල්‍යයකදී ක්‍රිස්තියානි ආගමික අය කළු පාට භාවිතා කරයි. එනම් එමගින් පැහැදිලිව වන්නේ වර්ණ භාවිතය ද සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන බවයි.  රතු පාට වර්ණය මගින් ආදරය, ප්‍රචණ්ඩත්වය, විරෝධී බව සංකේතවත් වේ. නිදසුනක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාර වලදී වඩා ම දැකගත හැකි වන්නේ රතු පැහැති වර්ණයයි. එනම් එමගින් නිරූපණය වන්නේ අරගලය යි.

ඒ වගේ ම ස්පර්ශය මගින් ද නිර්වාචික සන්නිවේදනයක් සිදු වේ. එනම් පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු වන අතට අත දීම වැනි දෑ මගින් විවිධ දෑ නිර්වාචික සන්නිවේදනය වේ. අතට අත දීමේ දී ගෞරවනීය ලෙස අතට අත දීම, ආගන්තුක අතට අතදීම, සුහදත්වය ට අතට අත දීම යනාදිය සන්නිවේදනය වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ ජනාධිපති තුමා පිටරටක සිට පැමිණි ජනාධිපතිවරයෙකුට අතට අත දීමේ දී ගෞරවනීය ස්පර්ශයත් දැකගත හැකිය. 

නිර්වාචික සන්නිවේදනයේ තවත් එක් ස්වරූපයක් වන්නේ ගන්ධය යි. පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්, විවිධ දෑ ගන්ධය මගින් නිර්වාචික සන්නිවේදනය වේ. සුවඳ විලවුන් වර්ග මඟින් ස්ත්‍රී පුරුෂ භේදය අපට ඒ පුද්ගලයා නොදැකම දැන ගැනීමට හැකි වේ. එනම් මෙය නිර්වාචික සන්නිවේදනය යි. නිදසුනක් ලෙස රත්මලානේ මැලිබන් ආයතනයේ ලගින් ගම ගන්නා විට හමන සුවඳ මගින් නි වාචික ව බොහෝ අය ට තමන් ඉන්නා ප්‍රදේශය සන්නිවේදනය කරග හැකිය ය.

මේ  ආකාරයට නිර්වාචික සන්නිවේදන ස්වරූප දැක්වූව ද නිර්වාචික සන්නිවේදනයේ ඇති වැදගත්කම ද දැක්වීම අත්‍යවශ්‍ය වේ. එනම් නිර්වාචික සන්නිවේදනය මගින් පුද්ගලාන්තර සන්නිවේදනය මැනවින් වටහා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම වාචිකව ඉදිරිපත් කරනවාට වඩා නිර්වාචික ව හැඟීම්, භාවයන් හොඳින් නිරූපණය කිරීමට හැකියාවක් තිබේ. එදා සිට අද දක්වා විකාශනය වූ මෙම සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය දක්නට ලැබෙන අතර එය පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයෙන් බැහැර කළ නොහැකි සන්නිවේදනය කි.

24 comments:

  1. Very useful article for student who stuying about communication. Good job 👐

    ReplyDelete
  2. ජීවිතේට ගොඩක් වටින දෙයක්.

    ReplyDelete