Saturday, October 3, 2020

 රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම කෙරෙහි බලපාන සාධක

රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය ගැන සාකච්ඡා කිරීමට පෙර ප්‍රචණ්ඩත්වය කුමක්ද යන්න පැහැදිලි කළ යුතු ය. එබැවින් ප්‍රචණ්ඩත්වය යනු මනුෂ්‍යයාගේ හෝ භෞතික පරිසරයේ යහ පැවැත්ම විනාශ කර දමන කුමන හෝ සංසිද්ධියක් හෝ දෙයක් යන්නයි. මෙකී ප්‍රචණ්ඩත්වය ජනමාධ්‍ය තුළ ප්‍රචණ්ඩ වන ආකාරය විමසා බැලීම වැදගත් වේ. ජනමාධ්‍ය ගත් කල ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත යනාදිය ඇතුළත් වේ. මෙකී ජනමාධ්‍යය පුද්ගල මනස හැසිරවිය හැකි අවියක් බවට පත් වී ඇත. එනම් ගුවන්විදුලිය,  රූපවාහිනිය, පුවත්පත ප්‍රබල සමාජානුයෝජන වාහකයන් බවට වර්තමානය තුළ පත්වී ඇත. මේ නිසා ඉහත දැක්වූ මාධ්‍යයන් මගින් කුමන හෝ සංදේශයක් පිට වන්නේ ද ඒ අනුව හැඩගැසෙන ග්‍රාහක පිරිසක් වර්තමානයේ සිටී. මෙයින් අදහස් වන්නේ විචාරශීලී ග්‍රහක කොට්ඨාසයේ මදිකම ය. ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය යන ජන මාධ්‍යයන් වලින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වය අවම මට්ටමක දැකිය හැකි වන්නේ ගුවන් විදුලිය තුළ ය. එය ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා වෙනි. නමුත් පුවත්පත, රූපවාහිනිය යන මාධ්‍යයන් තුළින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වය වඩාත් හොඳින් දැක ගත හැකිය. මෙමගින් අදහස් ගන්වනුයේ ජනමාධ්‍ය ප්‍රචණ්ඩ නොවන බවත් ජනමාධ්‍ය තුළින් ග්‍රාහක ගතකරන සන්දේශවල ප්‍රචණ්ඩත්වය අන්තර්ගත වී ඇති බවත්ය. නිදසුනක් ලෙස ගතහොත් රූපවාහිනිය ප්‍රචණ්ඩ නොවේ. රූපවාහිනිය මගින් ලබාදෙන සංදේශ තුළ ප්‍රචණ්ඩත්වය ගැබ් විය හැකිය. එසේනම් රූපවාහිනී මාධ්‍ය තුළ දැකගත හැකි ප්‍රචණ්ඩත්වය පහත පරිදි විමසා බැලිය හැකි ය


විදේශීය රටවල නිෂ්පාදිත ටෙලිනාට්‍ය විකාශනය වීමෙන් රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වේ. ලංකාවේ නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය වලට අමතරව විදේශීය රටවලින් මෙරටට ටෙලි නාට්‍ය ගෙවා විකාශනය කිරීමක් වර්තමාන රූපවාහිනී නාලිකා මගින් දැකගත හැකිය. මේ අතර ඉන්දීය ටෙලි කතා විශේෂිත වේ. සැබැවින්ම මෙම ටෙලිකතා මගින් ප්‍රචණ්ඩත්වයක් ඇති වනවාද යන්න ප්‍රශ්නයක් බොහෝදෙනාට ඇති වේ. එයට පිළිතුර වන්නේ මෙසේ ය. විශේෂයෙන්ම ඉන්දීය ටෙලි නාට්‍ය වල විවිධ වස්තු විෂයන් යොදා ගනිමින් නිර්මාණය කළද එය තුළ ගැබ් වී ඇත්තේ ක්‍රෝධය, වෛරය, පලි ගැනීම, අ සන්තෝෂය ය ආදී අකුසල ස්වභාවයන් ය. නිදසුනක් ගතහොත් සිරස නාලිකාව තුළ විකාශනය වන ප්‍රවීනා,  ප්‍රේම දඩයම, මේ ආදරයයි වැනි ටෙලි නාට්‍ය තුළ ඉහත දැක්වූ ස්වභාවයන් වඩාත් හොඳින් අන්තර්ගත වී ඇත. මෙකී ටෙලි නාට්‍යය කුඩා දරුවා පටන් මහලු වයසේ සිටින වැඩිහිටියන් ද නැරඹීමට රුචිකත්වයක් දක්වයි. එසේ නම් කුඩා දරුවා තුළ මහලු අය තුළ ඉහත දැක් වූ අකුසල ස්වභාවයන් ගොඩනැගෙන්නේද ?  එනම් මෙයයි මාධ්‍ය තුළ ඇති වන ප්‍රචණ්ඩත්වය. 

රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වය දැක්විය හැකි තවත් අවස්ථාවක් වන්නේ දාමරික ක්‍රියාවන්/ වීරත්වය ආරෝපණය කිරීමයි. මෙය වඩාත්ම දැකගත හැකි වන්නේ දමිළ චිත්‍රපට හා හින්දි චිත්‍රපට තුළ ය. එවැනි චිත්‍රපට තුළ අඩංගු වන්නේ තම එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීමට සටන් වැද හෝ ඉටුකර ගැනීමය. ක්‍රියාදාම චිත්‍රපට තුල මෙය වඩාත් හොඳින් පෙන්වා දෙයි. මෙවැනි දෑ ග්‍රහණය කරගන්නා ග්‍රාහකයා තම සැබෑ ජීවිතය තුළ චිත්‍රපටි තුලින් ලබාගත් දෑ අනුගමනය කිරිමට පෙළඹේ. එබැවින් ලාංකිකයන්ගේ විචාරශීලී ග්‍රාහකත්වය කෙබඳු මට්ටමක පවතින්නේ ද යන්න වඩාත් හොඳින් පැහැදිලි වේ. 

ඒ වගේම අපරාධ පිළිබඳ තොරතුරු ඡායාරූප සහිතව ඉදිරිපත් කිරීම මාධ්‍ය ප්‍රචණ්ඩත්වයට හේතු වන කරුණකි. පුද්ගල මිනී මැරීම්, මංකොල්ල කෑම්, දූෂණ, වංචා කිරීම් යනාදී අපරාධයන් නිරූපණය කිරීම මගින් ප්‍රචණ්ඩත්වයක් ඇති වේ. මේ සඳහා විවිධ රූපවාහිනී නාලිකා මගින් වෙනම වැඩසටහන් ද නිර්මාණය කර ඇත. " ඇඟිලි සලකුණු, තෙවැනි ඇස " යනාදී වැඩසටහන් වේ. මෙකී වැඩසටහන් මගින් යම්කිසි අපරාධයක් සිදු කරන ආකාරය සවිස්තරාත්මකව නළු නිළියන් යොදා ගනිමින් පෙන්වයි. කෙසේද මිනීමැරුමක් සිදු කරන්නේ ? කෙසේ ද සාක්ෂි වසන් කරන්නේ ? යන ආදී සියල්ලක්ම පාහේ එහි දී පෙන්වයි. රූපවාහිනී මාධ්‍ය අරමුණ වන්නේ රට තුළ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බව පෙන්වීමය. නමුත් සිදු වන්නේ කුමක් ද? තව තවත් රටේ අපරාධ වර්ධනය වීමක් දක්නට ලැබීමක් පමණි. එසේ නම් තව තවත් අපරාධ සඳහා පෙළඹවීම ප්‍රචණ්ඩත්වයක් නොවන්නේද ?

දේශපාලනික වැඩසටහන් තුළින් ද රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වයක් නිරූපණය වේ. වර්තමාන සමාජයේ ප්‍රධාන මාතෘකාව වන්නේ දේශපාලනයයි. සෑම රූපවාහිි නාලිකාවකම ප්‍රවෘත්ති වැඩසටහන් තුළ ප්‍රධාන මාතෘකාව වන්නේ දේශපාලනයයි. එසේ නොමැති නම් දේශපාලඥයන්ගේ හිස් වචන ය. ඒ වගේම සෑම නාලිකාවකම වාගේ දේශපාලන වැඩසටහන් දැකගත හැකිය. නිදසුන් ලෙස 360°, සටන, බලය, සලකුණ, රතු ඉර යනාදිය දේශපාලන වැඩසටහන් සදහා නිදසුන් වේ. එහිදී දේශපාලනඥයන් ගෙන්වා රටේ දේශපාලන තත්ත්වය ගැන විමසනවාට වඩා එක් එක් දේශපාලනඥයන්ට වැරදි පැටවීම, බැනවැදීම, චරිත ඝාතනය කිරීම, හිස් වචන කතා කිරීම යනාදී ස්වරූපයන් දැක ගන්න පුළුවනි. මේවා නරඹන ප්‍රේක්ෂකයා තුළ එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි හෝ දේශපාලඥයන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ඇති වේ.එමෙන්ම තමන් කැමති පක්ෂයේ වෙනුවෙන් ජනතාව ගහමරා ගැනීමට, රණ්ඩු සරුවල් කිරීමට පවා පෙළඹීමට වැඩි ඉඩක් ගනී. 

රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වය නිරූපණය වන තවත් අවස්ථාවක් වන්නේ ලිංගිකත්වය වැනි දෑ හුවා දැක්වීමයි. ඒ අතර අසභ්‍ය දර්ශන, අඩ නිරුවත් දර්ශනය වැනි සන්දේශ ග්‍රාහක ගත වන විට සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අසහනකාරී තත්ත්වයන් ඇති කරයි. හින්දි චිත්‍රපටි වල අසභ්‍ය දර්ශන, මත්පැන් පානය කිරීම, අඩ නිරුවත් දර්ශන වඩාත් හොඳින් නිරූපණය කරයි. විශේෂයෙන් හැදෙන වැඩෙන කුඩා දරුවන් මේවා නැරඹීමට කුතුහලයක් දැක්වීමත් ඔවුන්ට ඉගෙනීම වෙනුවට අසභ්‍ය දර්ශන නැරඹීමට, මත්පැන් පානය කිරීමට යනාදී ඇබ්බැහිකම් වලට හුරු පුරුදු වීම වර්තමාන සමාජය තුළ අසන්නට දක්නට ලැබේ. එමගින් ඔවුන් මානසිකව හෝ චර්යාමය අසහනකාරී තත්ත්වයට පත් වේ. එසේ නම් මෙය මනුෂ්‍යයා හෝ මනුෂ්‍යයාගේ යහපැවැත්ම බිඳ දමන ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් නොවන්නේද ? 

ඉහත දැක්වූ කරුණු අනුව පෙනී යන්නේ රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වය ඇති වෙන අවස්ථාව ය. මෙකී අවස්ථාවන් පාලනය කිරීමට මාධ්‍ය ආයතන මෙන්ම රජයේ විසින් පියවර ගැනීම වඩාත් වැදගත් වේ. එපමණක් නො ව එනම් ග්‍රාහකයාගේ විශ්ලේෂණාත්මක හැකියාව හා වින්දනීය හැකියාව ඉහළ මට්ටමකට නංවාගැනීම ඉතාමත් වැදගත් වේ. එමගින් ස්වයං විචාරය, ස්වයං අැගයීම, ස්වයං නියාමනය හා ස්වයං වාරණය ක්‍රියාත්මක කළ හැකි ය.

14 comments: