Sunday, February 25, 2024



අහස කියන්නේ මොකක්ද දන්නවද ?

ඇත්තටම ඔයාට අහස දැනෙන්නේ කොහොමද ?

මටනම් අහස කියන්නේ හැඟීම් ගොන්නක්. මට සතුටු හිතුණ අවස්ථාවලටත් මං අහස දිහා බලනවා..දුකින් ඉන්න වේලාවටත් අහස දිහා බලන් ඉන්නවා.

දන්නවද ?

මොක්කද ?

අහස මට ගොඩක් සමීපයි..මට මං විදිහට හිතන්න අහස මට ඉඩ දෙනවා..අහසට ඉමක් කොනක් නෑ..මමත් අහස දිහා බලාගෙන ඉමක් කොනක් නැතිව හිතනවා..අහස මට ඒකට ඉඩ දෙනවා..සමහර වේලාවට මං අහසේ ජිවත් වෙනවා...ඒක මට හිත නිවන භාවනාවක් වගේ.. මං ඒකට කැමතියි..ඒක හරි අපූරු හැඟීමක්..

ඒ නිසා අහස මං ඔයාට ගොඩාක් ආදරෙයි 🫶💙

මුතු🌹

Thursday, September 29, 2022

දවසක් මගෙන් යාලුවෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා..

යාළුවා : ඔයා මේ ලොකේ වැඩිපුරම භය කාට ද?

මම : (කල්පනා කරමින්)

යාළුවා : ආ....මම දන්නවා (ඔහු සිනාසෙමින් )

මම : ආ...කියන්න බලන්න එහෙනම්..

යාළුවා : ඔයා භය කැරපොට්ත්ත්ට නේද? (සිනාසෙමින්)

මම : ( ඒ වේලාවේ පොඩි සිනාවක් පාමින්) එයා සතෙක්නෙහ් අනේ..එයාටත් වඩා මම භය කෙනෙක් ඉන්නවා. ඔච්චර මං ගැන දන්න එකේ..කියන්න්කෝ බලන්න.

යාළුවා : ඒ කවුද ඒ?

මම : මම මේ ලොකේ ගොඩක් භය........මිනිහා කියන කෙනාට.

යාළුවා : හ්ම්ම්ම්...මනුස්සයට භයයි කියල ද ඔයා කියන්නේ? 

මම : ම්ම්ම්ම්ම්ම්...ඔව්ව්..මිනිහා කියන කෙනා අපි පිටින් දකින කෙනාම නෙමෙයිනෙහ්..කාලයක් ගියත් අපිට අඳුරගන්න බෑ. එක එක වේෂ තියෙනවා මනුස්සයට. ඒත් කැරපොත්තා වගේම අනෙක් සත්තු ගැන අපි හොදට දන්නවා..ඌ හපා කන්නේ මොන වේලාවට ද, ඌගේ විෂ අපි දන්නවනේ. ඒත් මිනිහා කියන කෙනා මොන වෙලාවට හපා කයිද, මිනිහගේ විෂ කාලයක් ගියත් අපිට තේරුම් ගන්න බෑ..

අන්න ඒ නිසා තමයි මම මනුස්සයට භය.

මුතු🥀 




Monday, July 25, 2022

ගොළු හදවත ගැන මෙසේ ලියන්නට සිතුණි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් එක් සිනමා කෘතියක් ලෙස ගොළු හදවත මෙසේ ප්‍රථමයෙන් හඳුන්වා දෙන්නෙමි. මෙම සිනමා කෘතිය ගැන ලියන්නට සිතුනේ දමයන්ති ගැන බොහෝ දෙනා පළකළ සෘණාත්මක අදහස් නිසාවෙනි. මගේ හිතේ බුරබුරා නැගුනේ ඇත්තෙන්ම ගොළු හදවතේ දමයන්ති ගැන සෘණාත්මක අදහස් ගෙන එන අයගේ අදහස් සත්‍යය දැන විමසීමයි.

කාලයක් තිස්සේ බලන්නට කැමැත්තෙන් සිටි එක්තරා සිනමා කෘතියක් වූ ගොළු හදවත බලා අවසන් වූ පසු  මගේ හදවතද විනාඩි ගණනාවකට ගොළු කළේය. ඇත්තෙන්ම මට අවශ්‍ය වූයේ දමයන්ති මොනවගේ චරිතයක්ද? ඇය සුදත්තව ලෝකයක අතරමං කිරීමේ වගඋත්තරකාරියක් වන්නේ කුමක් නිසා දැයි ආදී වශයෙන් කාලයක් අපේ දෙමව්පියන් මෙන්ම තවත් සමහර අය පැවසූ වදන් වල සත්‍යය සොයා බැලීමට මට අවශ්‍ය විය.

ලෙස්ටර් ජේම්ස් මහතා කතාවේ ආරම්භය ගන්නේ "ඇයි දමයන්ති මට මෙහෙම කෙරේ" කියාය. එකී වදන් තුළ මාගේ සිත තුළ ඇති වූයේ දමයන්ති ගැන වරදකාරී ස්වරූපයක් ය. කතාව පාසලක් තුල සිදුවන ප්‍රේමයක් මුල් කොට ගෙන සරල සංකල්පයක් මත කතාව ගලා යන්නේ ය. කතාව ඇතුළට කිඳා බැස සිටි මම ද මගේ පාසල් කාලෙට ගෙන යාමට ද යාමට ද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමත් වී ඇත. මා පමණක් නොව මෙය කියවන ඔබටත් එසේ සිතෙන්නට ඇතැයි මම සිතමි. 

" දමයන්ති " දඟකාර කෙලිලොල් යුවතියක් වන අතර "සුදත්" නිහතමානී , ඉගෙනීමට දක්ෂ, වැඩි කතාබහක් නොමැති අයෙකි. සුදත්ගේ සිත සොරාගත් ගැනීමට දමයන්ති මුල් විය. වැඩිපුරම කැමරා කෝණය දිස්වන්නෙ සුදත්ගේ සිත කෙරෙහිය. සුදත්ගේ ආදරය, ඒ බැල්ම කෙරෙහිය. දමයන්ත දෙසට යොමු වන්නේ ඇය තම පාසල් කාලය ගෙවා ගැනීමට ඔහුව ආශ්‍රය කරන බවත්, ඇය කුමක් හෝ දෙයක් වසන් කරන බවත්, දඟකාර යුවතියක් ලෙසටය. 

කතාව රස විඳින අතරතුර මා තුළ සුදත් ගැන ඇති වූයේ දැඩි අනුකම්පාවක් වන අතර දමයන්ති දෙස වරදකාරී හැඟීමකින් මා ඇය දෙස බැලුවෙමි. මා පමණක් නොව කතාවේ මුල සිට මැද කොටස පමණ වන තෙක් නැරඹූ ඔබට ද එසේ සිතෙන්නට ඇතැයි මම සිතමි. නමුත් කතා අවසානයේදී දමයන්තිගේ චරිතය මගේ හදවතට ම මහත් දුකක් ඇති කළාය. කිම ද යත් කිසිවෙකුට නොපැවසු වු ගොළු හදවත දමයන්තිගේ යැයි හැඟුණු නිසා ය. ඇය ද සුදත් තරමටම ආලය කළාය. සුදත් වෙනුවෙන් ඇය ද කදුළු සැලුවාය. ආලය සුදත්ට පමණක් නොව මහමෙරක් සේ ය. වරෙක ඇය ප්‍රකාශ කර සිටියේ සුදත්ගේ ආශ්‍රය නැතිවම බැරි වූ බවයි. නමුත් ඇය සුදත්ගෙන් වෙන් වන්නේ ඇය සුදත්ව රැවටු නිසයි. උසස් පෙළ විභාගය අවසන් වී සුදත්ට ප්‍රකාශ කරන්නේ ඇය ආදරේ සෙල්ලමකට ගත් බවයි. මට ද ඒ මොහොතේ දමයන්ති ගැන ඇති වුයේ කේන්තියකි. 

සත්‍ය කතාව ප්‍රකාශ වන්නේ කතාව අවසානයේ දමයන්ති සිතින් සිතන කොටසේදීය. සැබවින්ම කුඩා කල සිට ඇයව තම මස්සිනාට ගෙවල් වලින් ජෝඩු කර තිබුණි. ඇයට මස්සිනාගේ ආලය නොදැනුණුණි. ඇයට අවශ්‍ය වූයේ ආදරයයි. තරුණ වයසේ පසුවන යුවතියක් වන දමයන්තිට සුදත් වැනි අහිංසක කෙනෙක්ට  හිත යන්නේ ඒ ඒ කාලවල දී සිදුවෙන ආකර්ෂණයත්  සමඟය. 

නමුත් මම මෙහිදී දමයන්ති සුදත්ට මුල සිටම මුසා පැවසූ බව නිවැරදි නොකරමි. නමුත් ඇයට එසේ එසේ කරන්නට හේතුවක් තිබුණි. ගෙවල් වලින්ම මස්සිනාව ජෝඩු කර තිබුණ නිසා සුදත් ලන් වීමට පෙර ඇය ඔහුට ළං නොවී සිටීමට ඉඩ තිබුණි. ඇය අතින් වරදක් සිදු විය. නමුත් ඇය සුදත්ට සැබවින්ම ආලය කළ බව කිසිදා නො පැවසීය. එසේ පැවසුව නම් සුදත් දැන් සිටින තත්ත්වයට වඩා වෙනස් ස්වරූපයකින් ආවේශ වන්නට පුළුවනි. දමයන්ති විවාහ වූ පසු සුදත් ඇය වෙනුවෙන්ම සිත සිතා,මත්පැන් පානය කරමින් තම රැකියාව ද අහිමි කර ගත්තේය. දමයන්ති පැමිණ සුදත් ගෙන් ඉල්ලා සිටින්නේ අයියාගේ නිවෙසට යන ලෙසය. ඒ අවස්ථාවේ දී පවා දමයන්ති සුදත් ඉදිරිපිට නිවැරදි වන්නට යන්නේ නැත.  එදා පැවසූ දේ ඒ ආකාරයට ම තිබෙන්නට හැර ඇය නික්ම ගියා පමණි. අප්‍රකාශිත ආදරය ඇය තුළින් පිළිබිඹු කරන්නට ලෙස්ටර් ජේම්ස් මහතා අතිශය දක්ෂ වී ඇත. කතාව නරඹා අවසානයේ මගේ හිත මොහොතක් නතර විය. දමයන්ති වැනි චරිත සුදත් වැනි චරිත අද ලෝකයේ කොයි තරම් ඇත් දැයි මගේ සිතට නැගුණි. අපි බොහෝ දෙදෙනා අතර ළං කර ගන්නටත් බැරි, දුරින් තියා ගන්නටත් බැරි, එක මොහොතක් සිත අතරමං කරන ප්‍රේමයන් කොයි තරම් ඇත් ද?

මුතු

Monday, May 2, 2022

 අද ලෝක ජනමාධ්‍ය දිනයයි. 




ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය අදට යෙදී තිබේ. ලෝක මාධ්‍ය නිදහස දිනය සෑම වසරකම මැයි 03 දිනට යෙදී ඇත. මෙම දිනය සමරනු ලබන්නේ නිදහස් මාධ්‍යයක වැදගත්කම අවධාරණය කිරීමටය.

දැනුවත් තීරණ ගැනීමට පුරවැසියන්ට තොරතුරු සෙවීමට, ලබා දීමට සහ ලබා ගැනීමට ඇති නිදහස ඉතා වැදගත් වේ. නිවැරදි තොරතුරු බෙදා හැරීමේ ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ මාධ්‍ය නිදහසයි.

මෙවර එහි තේමාව වන්නේ ඩිජිටල් ආධිපත්‍යය යටතේ ජනමාධ්‍යවේදය යන්නයි.

1991 වසරේ පැවති යුනෙස්කෝ 26 වන මහ සමුලුවේදී සම්මත වූ යෝජනාවක් අනුව 1993 වසරේදි ජගත් මහා මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සමඟයි. සෑම වසරකම මැයි 03 වනදා ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය සමරනු ලබයි.

අද දවස ජීවිතයෙන් සමුගත් මාධ්‍යවේදීන් සිහිපත් කරන දවසක්.ලොව පුරා මාධ්‍ය නිදහස ඇගයීමට, මාධ්‍ය ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ක්‍රියාවේදී ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන්ට උපහාර දැක්වීමේ දිනයකි.

“මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි.”  -ජෝර්ජ් ඕවල්-

(මූලාශ්‍ර : යුනෙස්කෝ, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හා ටයිම් සඟරාව)  

ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අදහස් පළ කිරීමේ නිදහස හා සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා මෙන්ම, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ලොව පුරා බලධාරීන් විසින් ගරු කිරීම සහතික කරනු වස්, අද දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි.

කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය අද සමරන විට මාධ්‍යවේදී ප්‍රගීත් ඒකනැලිගොඩ අතුරුදහන් වී දින100ක් ගත වේ. මෙම තත්වයන් වෙනස් නොවුනහොත් පශ්චාත් යුධ සමය ඉතා බිහිසුණු සමයක් වීමට තිබෙන හැකියාව වැඩි ය. මෙය වෙනස් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට ප්‍රභල කාර්‍යයක් කිරීමට ඇති අතර ජනයා තුළත්’, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු පිළිබඳව ඇති වටිනාකම් වැඩි කර ගනිමින් වර්ධනය කර ගැනීමත් වැදගත් ය.

ආණ්ඩුවල අවශ්‍යතාව මත අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කෙරෙමින් තිබෙන්නේ එසේ ය. ඊට ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හෝ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව කියා වෙනසක් නැත. සියල්ලන් යන්නේ එක ම පාරේ ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කෙරෙන්නේත්, මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් අධිආරක්ෂිත කලාපයක් මැදින් රැගෙන ගොස්, ඝාතනය කර, සිරුර කොටස්වලට වෙන් කර මුහුදට දමන්නේත් ඒ එක ම පාර නිසා ය.

ලංකාවේදී නම්, පසුගිය වසර 15 ක කාලයේ උදාහරණ රැසක් පවතී. මේ වසර 15 ක කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැරගැනීම්, වධහිංසා කිරීම් සහ පහරදීම් සිද්ධි 130 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් අතරින් යම් හෝ සාධනීය අපරාධ විමර්ශනයක් සිදු කෙරුණේ සිද්ධි හයකට අදාළව පමණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට පහර දී වධහිංසා කිරීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහර දීම සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා කිරීම යන සිදුවීම් ඒවා වේ. අනෙකුත් සිද්ධි සියල්ල වැලි යට ය. වැඩිම තර්ජනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධව කිසිදු විමර්ශනයක් සිදු වූයේ නැත.

වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ගෙන යන ජන අරගලය, මේවාට විරුද්ධව කතා කරන ජනමාධ්‍යවේදීන්ට පහර දීමක් මෑතක දී සිදු වුණි. ආණ්ඩුවලට පවතින බලය මේ නිදහස් අදහස් ප්‍රකාශනයට යොදා ගනී. සැබවින්ම ලංකාව තුළ ජනමාධ්‍යවේදීන්ට නිදහස් ප්‍රකාශන අයිතිය පවතින්නේ ද?


Friday, April 29, 2022

 පාර්ලිමේන්තුට අදට වසර 40ක්.



ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ උත්තරිතර ස්ථානය එනම් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව ස්ථාපිත කොට අදට වසර 40 ක් සපිරෙයි.

ශ්‍රී ලංකාව බටහිර ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වන අතර, ලක්දිව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට 1815 දී පත් වුණි. ඉන් පසු ඔවුන් ලංකාව පාලනය කිරීමට විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා වෙන ලදී. ඒ හරහා ලංකාව තුළ ප්‍රථම වරට ව්‍යවස්ථාදායකය බිහි විය. 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකය රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳුන්වා දෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 දී ඉදි වන්නේ ගාලු මුවදොර ඉදිරියේ භූමි කොටසක ය. මෙහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ Austin Woodeson ය. (වර්තමානයේ මෙය ජනාධිපති ලේකම් කාර්යාලය වේ).

1946 දී බ්‍රිතාන්‍යයන් නැවත ගෙන එන සොල්බරී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායකය ලෙස පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුව ලෙසින් නමි විය. 1948 වසරේ දී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස හිමිවෙන අතර 1972 වසරේ මැයි 22 වන දා ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත් වීමේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව නමින් නම් වුණි.

ඒ වන විට ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය. ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීම අනුමැතිය හිමි විය.1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කිරීම මෙසේ සිදු වුණි.

එවකට පාලන බලයේ සිටි, ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබීය.

මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ජපන් සමාගමකට පවරා ඇති අතර එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා වුයේ, ලෝකප්‍රකට ජෙෆ්රි බාවා මහතා ය. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් මුල් කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහ නිර්මාණ ශිල්පයන් සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ. පාර්ලිමේන්තු ඉදි කිරීම් වැඩ නිම වී 1982 අප්‍රේල් මාසයේ 29 වන දින එය, උත්සවකාරයෙන් විවෘත කරනු ලැබීය.

මෙහි විශේෂත්වය වන්නේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත් වීමයි.

පාර්ලිමේන්තුව අලංකාරවත්ව ගොඩනැගී ඇති අයුරු පෙන්වා දුන්නොත්, පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නා වෘක්ෂයන්ගෙන් සපිරි මාර්ගයක් පසු කළ යුතු අතර ගොඩනැගිල්ල තුළට පිවිසීමට පෙර නිල්මහනෙල්වලින් පිරි පාර්ලිමේන්තු පොකුණක් ද, සභා ගර්භයට පිවිසීමේ ආලින්දයක් ද, සභා ගර්භයට පිවිසීමට ප්‍රථම මෙහිදී මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් ද, සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර ඇති බව ද දක්නට ලැබේ. 

තව ද පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරල වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකි අතර සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.

Thursday, April 7, 2022

 

විශ්රාමික පෙම්වතිය පිළිබඳ  විචාරාත්මක ඇසින්


"නවකතාව ගඟක් නම් කෙටිකතාව ඉන් ගත් දිය දෝතක් වැනිය. නවකතාව වනාන්තරයක් වූ විට කෙටිකතාව එහි පුරෝහනය වන බීජයකි. එය වඩා සමාන  මූලද්‍රව්‍යයකට නොව එහි තැනුම් ඒකකය වන පරමාණුවටයි. එහි විශ්වයේ රහස් සැඟවී තිබේ." මෙය ප්‍රකාශය කළේ බෙන් ඔකර් විසින් 1922 දී ය. ඇත්තේම කෙටිකතාව නවකතාව නම් වූ ගගේ දිය දෝතක් වැනිය. මෙකී උපමාව ඇසුරින් කෙටිකතාව කුමක්ද යන්න සාක්ෂාත් කරගත හැකිය. නමුත් ඇන්ටන් චෙකොෆ් කෙටි කතාව යන්න දැක්වූයේ මෙසේය. "කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් විවරණය කිරීමක්" ලෙසය. මෙකී අදහස විමසන කල කෙටි කතාවක් ලෙස සරලව විග්‍රහයක් ගෙනහැර දැක් වුවහොත් එය මෙසේ පෙන්විය හැකිය. කෙටිකතාව යනු මූලික අදහස් ඉදිරිපත් වන සේ අත්දැකීම් හා බැඳුණු සංසිද්ධියක ඉස්මතු කරන සාපේක්ෂව  කෙටි කාල වේලාවක් තුළ කියවා නිම කළ හැකි කෙටි ගද්‍ය කලා නිර්මාණයකි යන්න ගෙනහැර දැක්විය හැකිය.

 

සාහිත්‍යය යන පදය ලෝකයේ මුල් බැසගත් වචනයකි. වර්තමානයේ තාක්ෂණික ලෝකය හමුවේ සාහිත්‍යය දුරස්ව ගියද අප අවට ඇති ලෝකය, සමාජය, පුද්ගලයන්, හැසිරීම්, කලාකෘතීන් විග්‍රහ කර ගැනීමට සාහිත්‍යයේ සේවය අතිමහත්ය. ඒ අතර කෙටිකතාකරුවෝ තම පෑන මනා ලෙස හසුරුවමින් සමාජය, ජීවිතය, මනුෂ්‍යයා, මිනිස් ක්‍රියාකාරකම් ගැන දෘෂ්ටිවාදීව පාඨකයා හමුවට ගෙන ඒ. ලෝකයේ කෙටිකතාකරුවෝ බොහෝ ඇත. ඒ වගේම ලංකාවේද කෙටිකතාකරුවෝ බොහෝ ඇත. මෙකී කෙටිකතාකරුවන් අතරින් නූතන ලාංකීය  සිංහල සාහිත්‍යයේ වත්මන් අත්විතීය සලකුණක් ලෙස එරික් ඉලයප්පාරච්චි ඉහලට ඔසවා තැබිය හැකිය. 1954 දෙසැම්බර් 16 වන දින මීගමුවේ උපත ලද එරික් ඉලයප්පාරච්චි කෙටිකතාකරුවෙකි. කවියෙකි. නවකතාකරුවෙකි. සිනමා විචාරකයෙකි. එරික් තරුණ කවියකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ 1976 වර්ෂයේ "මැදියමේ ගීතය" කවි සංග්‍රහය පළ කිරීමෙනි. මීට අමතරව එරික් තම පෑන හසුරුවමින් ඔගන්දර, විතණ්ඩ සමය, ආදරයේ සිමෙන්ති, විතණ්ඩ සමය, රතුපලස, පේත, පාද යාත්‍රා, පරදේසි යන නවකතා ද මගේ කොළඹට සඳ පායයි, පියස්සක් නැති පරවියෙක්, පිත්තල හන්දිය, ආලින්දය වැනි කවි සංග්‍රහයන්ද චිත්‍ර කලාව හා විචාර කෘතිය සම්පාදනය කරමින් 1995දී කලා විචාර ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙන් චිත්‍ර කලා සියපත, විචාර පත්‍රිකා ද ප්‍රේමසිරි කේමදාස චරිතප්‍රදානයක් ද ඔහු අතින් විශාල කෘති රාශියක් නිම කොට දායාද කර ඇත. එරික් ඉලයප්පාරච්චි අප මුහුණ දෙන ගැඹුරු සමාජය, දේශපාලනික ප්‍රශ්න පාඨක අවධානයට ලක් කිරීම ඔහුගේ ප්‍රධාන පරමාර්ථයයි.

 

මෙකී කලා නිර්මාණයන් අතර එරික් ඉලයප්පාරච්චිගේ නවතම කෙටිකතා වන "විශ්‍රාමික පෙම්වතිය" 2020 හොඳම කෙටිකතාව බවට පාත්‍ර විය. මෙම කෙටිකතාව පිටු 160 කින් යුක්ත වන කෙටිකතා 15කින් සමන්විත විය. එරික් මෙකී විශ්‍රාමික පෙම්වතිය කෙටිකතාව තුළින් අප මුණ දෙන පීඩාකාරී සමාජය, සමකාලීන සමාජ ප්‍රශ්න, මනුෂ්‍යයාගේ මනෝභාවයන් ගොන්නක් අද්විතීය ලෙස පාඨක හමුවට ගෙන ඇත. එහි එන එක් කෙටිකතාවක් වන්නේ "කමලනාත් නම් වහලා" කෙටි කතාවයි. මෙහිදී ඔහු සාකච්ඡාවට බඳුන් කරන ප්‍රධාන කරුණ වන්නේ ඉන්දියාවේ සිට පැමිණි තරුණයකු කිසියම් කර්මාන්තයක සේවය කරන අතර ඔහු ඒ වෙනුවෙන් ඉන්දියාවට කිසියම් මුදලක් මාසිකව ගෙවන ජීවිත කතිකාවයි. ඇත්තෙන්ම මෙයින් එරික් සාකච්ඡා කොට ඇත්තේ වහල්භාවයයි. මෙය සමකාලීන සමාජ කතා වතකි. ඊට සමාන තවත් කෙටි කතාවක් වන "කුණු කාරයෝ" මගින් ගෙන එන්නේ කසල ඇදීමේ රැකියාවක් කරන පිරිසක් ගැන හා ඔවුන්ගේ දින චර්යාව වටා ගෙතුණු කතාවකි. "යකඩ බාල්දිය" තවත් එක් සමාජ කතිකාවක් නිරූපණය කරන කතා වස්තුවකි. එනම් ගැහැනියක් ගැන කතා කරන අතර කාන්තා වීරත්වය කසල ශෝධන රැකියාවක් අලලා මනා ලෙස ඉස්මතු කර දක්වයි. මෙහි එන අනෙක් කතාව සමාජයේ ඔබටත් මටත් අත්වීදීමට හැකි වස්තු විෂයයක් පාදක කරගත් විශ්‍රාමික පෙම්වතිය කෙටි කතා සංග්‍රහයේ එන අනු කෙටිකතාව විශ්‍රාමික පෙම්වතියයි. එරික් ඉලයප්පාරච්චි විශ්‍රාමික පෙම්වතිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ සරසවි ප්‍රේමයක් වටා ගෙතුණු රසවත්, ආදරණීය හා ශෝකාන්ත ප්‍රේම පුවතකි.

 

"අවසානයේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න" යන ගීත පද කොටස මට මුලින් ම පෙන්වා දෙන්න සිතෙන්නේ මෙය කියවන ඔබට විශ්‍රාමික පෙම්වතිය ගැන කෙටි අදහසක් ගෙන දීමට ය. මෙම කෙටි කතාවේ ප්‍රධාන චරිත තුනක් නිරූපණය කරයි. කමලා, ජේ.ජේ නැතහොත් ජයමුනි ජයතිස්ස සහ මෙහි තුන්වන පාර්ශවය වන කථකයා ය. මෙම කතාව පාඨකයා හමුවට ගෙන ඇත්තේ පාඨකයා අත් දුටු සිද්ධියක් ඇසුරිනි. මෙයට හෝ පුරුෂ දෘෂ්ටි කෝණය කේන්ද්‍ර කොට ගෙන ඇත. විශ්‍රාමික පෙම්වතිය මගින් එරික් ගම්‍ය කරන වස්තු විෂය වන්නේ පේරාදෙණිය සරසවි භූමිය තුළ ගොඩනැඟෙන කමලාගේ සහ විජයගේ ආදර කතාවයි. ඔවුන්ගේ ආදර කතාව දළු ලා වර්ධනය වන අතර සරසවි බිමෙහි කාගේත් අවධානයට ලක් වූවකි. කථකයා පවසන ආකාරයට ජේ.ජේ. හා කමලාගේ ආදරය පිවිතුරු එකක් වන අතර ජේ.ජේ. කමලාගේ පිවිතුරු ආදරය හැර තවත් අනියම් ප්‍රේම සබඳතා පවතින බව පෙන්වයි. ජේ.ජේගේ මෙම නොමනා ක්‍රියාවන් ද ඊට පසුව ජේ.ජේ තමන්ට එක සිතින් පෙම් කරන කමලාගේ ආදරය පසෙකට ලා ධනවත් වංශවත් කාන්තාවක් සමඟ යුගදිවියට එළඹේ. කම්මලට දුන් වේදනාවට ජේ ඒවායේ විපාක විඳින බව ද කයින්  ඔහුගෙන් වෙන් වුව ද සිතින් ඔහුව තවමත් වැළඳගෙන සිටින බව ද කතාව අවසානයේ කථකයා එය මේ ආකාරයට පෙන්වා දේ.

 " ඇයද පැමිණෙන්නේ ඔහුට ඇය දැක ගැනීමට ඉඩ දීමේ අදහසින් බව සිතිම මගේ සිත සසල කළේය."

 

ප්‍රේමය වූ කලී නිර්මල දෙයක් විය යුතුය. එය දෙදෙනා අතර ඇතිවන හදවතින්ම ගොඩනැගෙන පිවිතුරු එකකි. ලෝකයේ සෑම ආදර කතාවක්ම ආදරවන්තිය හා ආදරවන්තයා එක් වන්නේ නැත. හැම දෙනාටම ප්‍රථම ආදරේ දිනාගත නොහැකිය. සමහර අයගේ අවසාන ප්‍රේමය ද ජීවිත කාලය පුරා ට රැඳී පැවතුණු ඇත. ඉතින් විශ්‍රාමික පෙම්වතියේ එන ජේ.ජේගේ හා කමලාගේ ආදරය ද එක් වූයේ නැත. ඒ ආදරය විතැන් වූව ද  කමලා තවමත් ජේ.ජේගේ ආදරවන්තිය ලෙස එදා කාගිල්ස් සාප්පුවේ මුණගැසුනු මොහොතේ දී දුටුවේය.

 "මැදි විය පසු කොට වසර ගණනක් ගෙවී ඇතත් ඇය තවමත් ජේ.ජේගේ පෙම්වතිය වැනිය."

කථකයාගේ පරමාර්ථය වී ඇත්තේ මෙයයි. ඒ පරමාර්ථය පාඨකයා හමුවට රැගෙන යාමේදී කොතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න මීළගට සාකච්ඡා කිරීම වැදගත් වේ. භාෂාව වූ කලී කෘතියකට හෝ ඕනෑම කලා නිර්මාණයකට අවශ්‍ය ප්‍රධාන අංගයයි. තේමාවට ගැළපෙන ලෙස විවිධ භාෂා විලාස හා රචනා රීති යොදා ගැනිම, ප්‍රාදේශීය ව්‍යවහාර, වාග් විලාසය යන ආදිය කලා නිර්මාණයකට වැදගත් වේ. මේ අතරින් එරික් ඉලයප්පාරච්චි සරල බස් වහරක් මෙම නිර්මාණයට යොදා ගෙන ඇත.

"හාත්පස මිහිදුම නිසා විදුලි පහන් ආලෝකය යන්තමින් දිලිසෙන තෙත සුදු කඩදාසි ගිළි බවට පත්වී තිබුණි."

මෙයට යොදාගත් භාෂාව පාඨක ඔබටද කියූ විට වටහා ගත හැකිය. ඒ වගේම මෙතුමාගේ එක් භාෂා විලාසයක් වන්නේ මේ සරල බස් වහර ඇතුලට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ කිරීමයි. ඒ එරික්ගේ කලාවක් බව මම මීට පෙර ඔහුගේ ලිපි කියවූ විට මට පසක් විය. "කාගිල්ස්, හස්බන්ඩ් පේරාදෙණි ලව්, සෙක්ස්, රේස් බුකි, කාර් පාක්, සෙන්ට්‍රල්, ස්කූල්" යන ඉංග්‍රීසි වචන තම කෘතියට ඇතළත් කර ඉංග්‍රීසි මුසු වූ භාෂාවක් මෙයට යොදාගෙන ඇති බව තහවුරු වේ. ඒ වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් වන්නේ රචනා රීතිය යි. මේ රචනා රීති ද තම කතා සන්දර්භය ඇතුළට මැනවින් ගොනු කර ඇත.

"මම ඇය පසුපසින් ඇයගේ කාරය වෙත ගියෙමි." "අපි සාප්පුවෙන් එළියට පැමිණියෙමු."

 

මේ ආකාරයට රචකයා සරල බස් වහරක් යොදා ගත්තද මේ බස් වහර ඇතුළත ශබ්දාලංකාරය ගැබ්වී ඇත. එනම් උපමා, රූපක, සංකේත යනාදිය යොදාගැනීමෙන් සරල බස් වහර තවත් තීව්‍ර වන අතර කතා වස්තු විෂය රසවත් අන්දමින් මෙය කියවන පාඨකයාට ලබා දී ඇත. ජේ.ජේගේ හා කමලාගේ ප්‍රේමයේ පිවිතුරු බව, ආදරය බව පෙන්වීම කතුවරයා කෘතිය පුරාවටම සංකේත, උපමා යොදා ගනිමින් ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමාන්විත එකක් බවට පාඨකයා හමුවට ගෙන ඇත.

 

"එක අත්තෙ වසන ලද කුරුලු ජෝඩුවක් මෙනි" ඉහත උපමාව මගින් පැහැදිලි කර ඇත්තේ මොවුන් දෙදෙනාගේ ප්‍රේමය නිරූපණය කිරීමයි. කුරුලු ලෝකය සුන්දර ලෝකයක් බව ඔබත් මමත් අසා ඇති කරුණකි. කුරුලු ලෝකයේ කුරුලු ජෝඩුන්ගේ ආදරය, හැසිරීම අප කවුරුත් දැක ඇත. ඒ සඳහා කවි පන්ති ද බොහෝ ලියැවී ඇත. කුරුලු ජෝඩුවක් මෙන් සඳහන් කිරීමෙන් ජේ.ජේ හා කමලා අතර ඇති ආදරය ප්‍රේමණීය එකක් බව පාඨකයාට දැන වීමට කතුවරයා යොදා ගත් කදිම උපමාවකි.

" තලාතු මිනිරන් සේ බබළන ගල මත"

මෙකී උපමාවෙන් ද ඔවුන්ගේ ආදරය පෙන්වයි. මිනිරන් අප කවුරුත් අසා ඇති පරිදි දිලිසෙන, දීප්තිමත් දෙයකි. ගල මත වාඩිවී සිටින කමලා හා ජේ.ජේ කථකයාට පෙනුනේ බබළන මිනිරන් සේය. කතුවරයා ඔවුන්ගේ ආදරය නිරූපණය කිරීමට ගත් උත්සාහය මා සිතන පරිදි සාර්ථක වී ඇත.

"ගල් දෙකක් අතර වැඩෙන පඳුරක් ලෙසිනි."

" මඩෙන් බියෙන් උපත ලද නෙළුම් මලක් ලෙසිනි"

සංකේත භාවිතය ද කලා නිර්මාණයකට අතිශය වැදගත් දෙයකි. කතුවරයාට එක සේ කිව නොහැකි දේවල් පදපේලි ගණනට ගොනුව කළ නොහැකි දේවල් එක් සංකේතයක් මගින් පාඨකයාට තවත් සිතිමට ඉඩ හරී. වසර ගණනාවකින් කථකයාට කමලාව කාගිල්ස් සාප්පුවේ දී මුණගැසේ. එදා සරසවි බිමේ දි දුටු කමලා අද වයසට ගොස් ඇති බව පෙන්වීමට "ඇය උපැස් යුවළක් පැලඳ සිටියාය" යොදා ඇත. මෙකී සංකේතය මගින් පාඨකයාට තවත් සිතන්නට ඉඩ ලබා දී ඇත. කාගිල්ස් සාප්පුවට කථකයා පැමිණියේ අගුරු උරයක් මිලදී ගැනීමටය. එදා කමලා හමුවිය. කථකයා සප්පුවෙන් එළියට පැමිණි මොහොතේ දී ඇයගේ නික්මයාම පසුව යාචකයෙකු මෙන් ජේ.ජේව කථකයාට හමුවේ. එහිදී ජේ.ජේ කථකයාගේ අතේ තිබූ අඟුරු පාර්සලය ඉල්ලා ගත්තේය.  "අඟුරු පාර්සලය" මගින් ජේ.ජේගේ අතීත මතක සටහන් ගැබ් වී ඇති බව සංකේතවත් කරයි. එසේ නම් කාගිල්ස් සාප්පුවේදී කථකයා හා කමලා කතාබස් කළ බව ජේ.ජේට පෙනෙන්නට ඇත. එම අඟුරු පාර්සලය ඉල්ලන්න්ට ඇත්තේ මතක සටහනකට බවත් ඔවුන්ගේ පැරණි ආදරයේ මතකයන් බව මින් ගම්‍ය වේ.

"සාම්ප්‍රදායික ගනුදෙනුකාර සිනහවක් පෑවේ" "මියගිය කෙනෙකු හඳුනා ගැනීම සඳහා ඒ තැනැත්තාගේ සිරුර වැසූ රෙදි කඩ යන්තම්.."

 මේ සංකේතය යොදාගෙන ඇත්තේ කථකයාව කාගිල්ස් සාප්පුවේදී කමලාට එකවර හඳුනා ගත නොහැකි වූ අවස්ථාවේ දී ය. "පරණ තාලේ මෝටර් රථයකි" මෙමගින්ද සංකේතවත් කරන්නේ තවමත් ඇය ජේ.ජේගේ පරණ පෙම්වතිය බවයි. වයසට ගියද ඇයව කාරය හරහා කතුවරයා පෙන්වීමට උත්සාහ ගෙන ඇත්තේ තවමත් ජේ.ජේ වෙනුවෙන් පෙනී සිටින බවයි.

 "මුහුණ සුදු රැවුලකින් වැසී තිබුණු අතර තම දෙපා යට වූ මහපොළොව එහා මෙහා තල්ලු කරන ලෙසින් දෙපා නිරන්තරයෙන් එහා මෙහා කළේය."

 කතුවරයා මෙහි සංකේතවත් කොට ඇත්තේ ඔහු එනම් ජේ.ජේ දැන් ජීවිතය සමඟ සටන්වදින බවයි.

 "අතින් ගෙන යා හැකි තරමේ බඩුවක් දෙකක් ට්‍රොලියේ දමා"

මෙය කථකයා දකින්නේ කාගිල්ස් සාප්පුවේදීය. එනම් කමලා එතරම්ම අත්‍යවශ්‍ය බඩු නොගැනීමට කාගිල්ස් සාප්පුවට පැමිණ ඇති බවත් එහි කුමක් හෝ යටි අර්ථයක් සැඟවී ඇති බව කථකයා ද පවසයි. එදාම කාගිල්ස් සාප්පුවෙන් එලියට පැමිණි විට කථකයාට යාචකයකු මෙන් ජේ.ජේ හමුවේ. ඔහු කථකයාගෙන් ඉල්ලුවේ අඟුරු පාර්සලය යි. එසේනම් කමලා සාප්පුවට පැමිණි ඇත්තේ ජේ.ජේව බලන්නද යන්න ඔබට ද මට ද කතුවරයා එකී සංකේතයෙන් කුතුහලයට පත් කරයි.

මෙහි දී කතුවරයා ඔවුන්ගේ ආදරය නිරූපණය කිරීමට, වයසට ගියද ඇයගේ ආදරේ නිරූපණය කිරීමට යොදාගත් අලංකාර, සංකේත කතා සන්දර්භය උචිතම තැන් වලට යොදා ගනිමින් පාඨකයාට රසවත් කෘතියක් ලෙස ගෙනහැර දක්වා ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "නිධානය" චිත්‍රපටය තුළ ද සංකේත බහුලව දැක ගත හැකිය. විලීගේ නිදන ඇඳුම් පිටුපස ඇත්තේ මකරෙකුගේ රූපයෙකි. එමගින් විලි ගැන සංකේතානුසාරයෙන් එඅය නරඹන්නන්ට ඔහුගේ චරිතය කෙබඳුදැයි නිරූපණය කර ඇත.

ඒ වගේම එරික් ඉලයප්පාරච්චි එක් එක් රසවාදයන් මේ කලා නිර්මාණයට යොදා ගෙන ඇත. මෙම කතාව කියූ විට මට දැනුනේ මෙහි කරුණා රසය ගැබ් වී ඇති බවයි. තවමත් ජේ.ජේව බලාපොරොත්තුවෙන් සිටින ඇය ගැන කරුණා රසයක් කතුවරයා උද්දීපනය කර ඇත. ඒ වගේම "

සුදු ඉරි වැටුණු ලොම් පැකට්ටුවකින් වසාගෙන සිටි තම ලැමද තවමත් ජේ.ජේ වෙනුවෙන් කැපවී"

 එකී පාඨය තුළින් මට හැඟෙන පරිදි කතුවරයා සියුම් ශෘංගාර රසයක් මතු කර දැක්වීමට උත්සාහ ගෙන ඇත.

කෙටිකතා නිර්මාණයක දී වඩාත් ප්‍රබලව අවධානය යොමු කරන්නේ චරිත නිරූපණය කෙරෙහිය. මෙම චරිත බාහිරවත්, අධ්‍යාත්මක ව මෙන්ම මානසිකවත්, සමාජ ජීවිතයේ දී විවිධ ධර්මතා වලට මුණ දෙන චරිත විය යුතුය. පාඨකයාට කලා නිර්මාණයක එන චරිත ඔවුන් මනස තුළට මුල්බැස ගන්වන්නටනම් කලා කෘතියේ එන චරිත නිරූපණය කරන ආකාරය මැනවින් වැදගත් කොට සලකයි. එරික් ඉලයප්පාරච්චි විශ්‍රාමික පෙම්වතියේ එන කමලාගේ, ජේ.ජේගේ හා කථකයාගේ චරිතයන් පාඨකයා හමුවට ගෙන ඇති ආකාරය මීළඟට සාකච්ඡාවට බඳුන් කළ හැකිය. ජේජේගේ හා කමලාගේ බාහිර පෙනුම ගැන විග්‍රහ කර පෙන්වන්නේ මේ අයුරිනි.

"ඇය තලවකැලේ පැත්තෙත් තද මීදුම, දිය ඇලි හා කඳුකර මායිම් මූවට්ටි සහිත පරිපූර්ණ තේ වැවිලි සහිත කඳුකරයෙහි ශීතල දේශගුණය මැද ඇති දැඩි වූ සුන්දරියකි."

"ඔහු හිරු රැසින් ගිනියම් කරන ලද වව්නියා සිංහල කොට්ඨාසයේ ඇති තරම් ඉඩ කඩ ඇති ගොවිජනපද මූල සහිත නිතර නුරුස්සන සුළු අපේක්ෂා සහිත පවුල් පසුබිමක් ඇත්තෙකි."

කථකයා මොවුන් දෙදෙනාව ඔවුන් ජීවත් වූ ප්‍රදේශය අනුව ඔවුන්ගේ බාහිර පෙනුම නිරූපණය කර ඇත. ඒ කථකයා අත්දුටු දෙයක් ආකාරයටය.කථකයා ආදරයේ දී කමලාගේ චරිත ස්වභාවය ගැන දැක්වූයේ හරි අපූරුවටය. කමලා ආදරේ දී ජේජේට එක සිතින් ආදරය කළේය. ඇයට අන් කවරෙකුටත් වඩා ඔහුව වටිනා බවත් ඇය ඔහු වෙනුවෙන්ම කැපවී සිටින ආදරවන්තියක් බවත් කථකයා අපට පවසයි. "

ඇය පෙම්වතියක් ලෙස කිසියම් අපූර්ව ප්‍රීතියක් ඔහුගෙන් බලාපොරොත්තු වන්නීය."

 ඇය ජේජේගෙන් පැතුවේ ආදරය පමණි. සරසවි බිමෙහි කාගෙත් ඇස ගැටුණු ආදර කතාවක් වන අතර ඇය ප්‍රේමවන්තියකගේ භූමිකාව පිවිතුරු ප්‍රේමවන්තියකගේ චරිතය රඟ දැක්වීය. ඇයගේ ප්‍රේමය නිර්මලය. ජේජේගේ හා කමලාගේ ආදර සම්බන්ධය අතරමග නැවතී ජේජේ වෙනත් විවාහයක් කරගත් පසු ඔහු පිරිසකගෙන් පහර දීමකට ලක් විය. පහර කෑ ජේජේව බලන්නට ඇය රෝහලට ද ගියාය. තමා අතහැර දමා ධනවත් කාන්තාවක් හා ජේජේ සරණ ගිය ද ඇය තවමත් ජේජේගේ පෙම්වතිය සේ දැනුණි. එය කතුවරයා මනා සේ නිරූපණය කර ඇත.

 "එය පුරාණ පෙම්වතියක රහසේ තම කුමාර සැමියා බලන්නට බලකොටු සිරගෙයට යන ගමනක් වැනිය."

 කමලා විශ්‍රාම සුවයෙන් පසු වුනත් ඇයට ඔහුව ලබාගත නොහැකි වුණත් සියළු යථාර්ථයන්ට මුණ දී සිටින ඇය කථකයා එදා කාගිල්ස් සාප්පුවේ දුටු විට ඔහුට හැඟුණේ තවමත් සරසවි බිමෙහි සිටිය කමලා ලෙසිනි.එමගින් ඔහු අරුත් ගැන්වූයේ තවමත් කමලාගේ යට සිතෙහි ජේජේ වෙනුවෙන් ආදරයක් ඇති බවයි. "පරණ තාලේ මෝටර් රථයකි"තවමත් ඇයගේ හිත තුළ පරණ අදහස් පවතින බව සංකේතවත් කරයි. "මැදි විය පසු කොට වසර ගණනක් ගෙවී ඇතත් ඇය තවමත් ජේජේගේ පෙම්වතිය වැනිය."

ජේජේගේ සම්බන්ධයෙන් පසුව ඇය ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත. "එතකොට මම නුගවෙල සෙන්ට්‍රල් ස්කූල් එකේ උගන්වන කාලේ" ඇය විවාහක කාන්තාවකි. "මම කසාද බැන්දායින් පස්සේ" යන්න මගින් එය තහවුරු කරගත හැකිය. කමලා  වැනි චරිතයන් අද වර්තමාන සමාජයේ ද අපට අතර ජීවත් වේ.කතුවරයා පාඨකයාගේ මනෝභාවය ආක්‍රමණය කොට කමලා ගැන කරුණා රසයක් ඇති කිරීමට දක්ෂ වී ඇත.

ජේජේ නැතහොත් ජයමුනි ජයතිස්ස කමලාගේ ප්‍රේමවන්තයා විය. ඇය එක සිතින් පෙම් කළ තරුණයා ජේජේ ය. ජේජේ ද ඇයට ආදරය කළා ද යන්න ප්‍රශ්නයක් මතුවේ. ඊට හේතුව වන්නේ ඔහුට කමලාගේ ආදරය හැර තවත් අනියම් සබඳතාවන් කිහිපයක් පැවතුණු නිසාවෙනි.

"ඔහු කල්පනාවෙන් හා කිසියම් ශික්ෂණයකින් යුතුව ජීවිතයේ හැඟුනු සංකීර්ණතා සොයා යන්නෙක් හා සරසවි දිවිය එක් යුවතියකට පමණක් පාවා නොදිය යුතු බව සිතන්නෙකි."

බස්වල යන අතරමගදී පේරාදෙනණිය මල්වත්තේ හඳුනා ගන්නා කාන්තාවන් සමග ද පොලිස් කාන්තාවක් සමග හා හෙදියක් සමගද එකවර සබඳතා ඇතිකර ගත්තෙකු බව කථකයා පවසයි. ඇත්තෙන්ම මිහු ස්ත්‍රී ධූර්තයකි. කාන්තා ලෝලියෙකි. තවත් ආකාරයට පැවසූවොත් එක් ගැහැණියකින් පමණක් සෑහීමකට පත් නොවිය හැකි රාගික තැනැත්තෙකි.

"තම සරසවි ප්‍රේමයෙහි නොගෑවෙන පරිදි සරසවියෙන් බාහිර අනියම් සබඳතා ඇතිකර ගන්නට රිසි වන්නෙකි"

මෙය කෘතිය කියවන පාඨකයෙකු වශයෙන් ජේජේ කෙරෙහි මා තුළ ජුගුප්සාජනක හැඟීමක් මගේ මනෝභාවයන් තුළ ගොඩනැගුණි. කතුවරයා දක්ෂ ලෙස ජේජේගේ චරිතය පාඨක හමුවට රැගෙන ගොස් ඇත. ජේජේ වංශවත් ධනවත් කාන්තාවක් සමඟ විවාහ වන්නේ තමන්ට පිවිතුරු පවිත්‍ර ලෙස ආදරය කළ කමලාගේ ආදරයට පයින් ගසා ය. නමුත් ඇයට එසේ කර ඔහුට අත්වූ ඉරණම කතුවරයා දිට්ඨධම්මවේදනීය කර්මය හොඳින් විශ්වාස කරන තැනැත්තෙකු බවට පසක් වන අතර ජේජේටද මේ ජීවිතය ගෙවා දමන්නට පෙරාතුව තමන් කළ කර්මයන්හි විපාක ලබන්නට අත්විය. "සැරයටියක් අතින් ගත් නමුදු යාචකයෙකු නොවන පුද්ගලයෙකි"

"වැළඳී තිබුණු කිසියම් රෝගයක් නිසා ඔහුට තම කටහඬ නැති වී තිබුණි".

එදා කමලාගේ ආදරය පසෙකලා ගිය ජේජේ යළිත් කමලාගේ ආදරය අවශ්‍ය වූ මොහොතේ දී පැමිණෙන විට ඇය විවාහයට පත් වී අවසන්ය.

"මම කසාද බැන්දයින් පස්සේ එයා ආපහු මාව හොයාගෙන ඇවිත් කරදර කරන්න පටන් ගත්තා".

ඔහුට අත් විය යුතු ඉරණම කතුවරයා දිට්ඨධම්මවේදනීය කර්මය අලලා පාඨකයාගේ මනෝභාවයන්ට කතා කර ඇත.

විශ්‍රාමික පෙම්වතියේ එන අනෙක් චරිතය හෙවත් තුන්වැනි පාර්ශවය වන්නේ කථකයා ය. මෙම කතා සන්දර්භය ඇතුළත කථකයා ගැන කිසිදු පෞද්ගලික තොරතුරක් සඳහන් කර නොමැත. කමලාගේ හා ජේජේගේ ආදර කතාව සහෘද හදවත් තුළට රැගෙන එන වාහකය වන්නේ කථකයාය. සරසවි බිම තුළ ඔහු අත්දුටු දෙයක් වශයෙන්ම ඔවුන් දෙදෙනාගේ පෙම් සුවඳ ගැන සුවඳවත් කරන අතර මෙහි කථකයා ගැන සැඟවුණු යටි අරුතක් හෙවත් යටි සිතෙහි සැගවුණු හැගීමක් සක්මන් කරන බව කතාව කියවන යම් යම් තැන්වලදී පසක් වේ. විශ්‍රාමික පෙම්වතිය කතාව තුළ කමලා හා  ජේජේ ගැන හැම තොරතුරක්ම දන්නේ ඒ වගේම කමලාගේ හැඟීම්, ඉරියව් මනා ලෙස පවසන්නේ කථකයා ය. එනම් එමගින් ගම්‍ය වන්නේ ඔහු කමලා දෙස වුවමනාවෙන් නෙත් යොමා ඇති බවයි. වරෙක කථකයා මෙසේද පවසයි.

"ඔහු හිටිහැටියේ වෙනස් වන පරස්පර ගති ගුණවලින් යුතු නිසා ඇයට නිතර කිසියම් ආතතියකින් යුතුව කල් ගෙවන්නට සිදු විය".

කමලාගේ ආතතිය ගෙන ඔහු හොඳයාකාරව පවසන්නේ කෙසේද? මේ ගැන යම් කිසි ගැටලුවක් මතුවේ. එයින් ප්‍රකාශ වන්නේ ජේජේ හා කමලා ආදරය කළද කමලා දෙස විශේෂ අවධානයකට ලක් කර ඇති බව මෙයින් තහවුරු වේ. ඒ වගේම

"නුවරඑළිය ඇගේ ගමන සමඟ මා වෙතින් දුරස් වී යන්නා සේ මට හැඟුණි".

මෙමගින් යම් දෙයක් සංකේතානුසාරයෙන් කථකයා පවසයි. කථකය සෘජුවම නොපැවසුව ද වක්‍රාකාරයෙන් යම් දෙයක් පවසන්නට උත්සාහ ගෙන ඇත. මේ පොත කියවන අතරතුරේ දී යම් තැනක මගේ සිත දෝලනයකට ලක් විය. එනම් කථකයා කතාව ආරම්භයේ දී මෙසේ ප්‍රකාශ කර ඇත.

"ඇය මගේ පැරණි පෙම්වතියක නොවූවත ඇය හා ජේජේ අතර.."

ඇය මගේ පැරණි පෙම්වතියක නොවූවත් යන්න මගින් සංකේතානුසාරයෙන් කුමක් ද මේ ප්‍රකාශ කර ඇත්තේ? මගේ සිතට නම් හැඟෙන්නේ කථකයා කමලාට යටි සිතින් ආදරය කළ බවයි. පැරණි පෙම්වතියක නොවූවත් මගින් ජේජේගේ හා කමලාගේ ආදර සබඳතාවය තිබුණ ද කථකයා කමලා ගැන යටි සිතේ තිබෙන අදහස අතනොහැර සිටි ඇති බවත් එසේ අදහස අතහැරියේ නම් පැරණි පෙම්වතිය ලෙස සඳහන් කිරීමට ඉඩ තිබුණි. නමුත් කථකයා එය එසේ සඳහන් කර නොමැති වන අතර එයින් ඔහු පෙන්වා දීමට උත්සාහ ගෙන ඇත්තේ ඔහුගේ හිතේ ඇති ආලය වෙනස් නොවන එකක් බවයි. මෙහි එන පරිදි කථකයා විවාහ වී ඇති කියාවත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සඳහන් නොකර ඇති නිසා කථකයා ඇයගේ ආදරය වෙනුවෙන් පෙනී සිටියා ද යන්න මට හැඟේ.

"මට සිතුනේ මියගිය කෙනෙකු හඳුනා ගැනීම සඳහා ඒ තැනැත්තාගේ සිරුර වැසූ රෙදි කඩ යන්තම් ඔසවා ඔහුගේ මුහුණ පෙන්වන බවකි".

එදා කාගිල්ස් සාප්පුවේදී වසර ගණනාවකට පසු කථකයා හා කමලා මුණගැසේ. එවිට කමලාට කථකයා හඳුනා ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී කථකයා මෙසේ සිතයි. කථකයගේ හිතේ යටි ආලයක් ඇය වෙනුවෙන් නොමැතිනම් ඔහුට එසේ සිතෙන්නට නොවිය හැකිය. නමුත් තවමත් කථකයාගේ හිත ඇයට ආලය කරන බැවින් "මියගිය කෙනෙකු හඳුනා ගැනීම" යන්න මගින් තව තවත් පසක් කරගත හැකිය. කෙටිකතාවක එක් ලක්ෂණයක් වන්නේ කෙනෙකුගේ යටි හිතේ සැඟවුණු හැඟීමක් හෙළි කරන එක් විවරණයක් ලෙසය. මෙකී ලක්ෂණය සහෘද හදවත් හමුවට එරික් ඉලයප්පාරච්චි කථකයාගේ ඇවෑමෙන් සාර්ථකව කරගෙන ඇත.

කෙටි කතාවක් තුළින් මධ්‍යස්ථ කලාත්මක දෘෂ්ටියකින්, සමාජ පන්ති භේදය, සමාජ විෂමතා ගෙන එය උපහාසයට හා විවේචනයට ලක් කිරීමට කදිම තෝතැන්නක් ලෙස කෙටි කතාව පෙන්වාදිය හැකිය. එරික් ඉලයප්පාරච්චි ද මේ කෙටිකතාව තුළින් සමාජය, සංස්කෘතික ස්වභාවය ඒ වගේම පංති භේදය සාකච්ඡාවට ලක් කිරීමට අමතක කර නොමැත. ඇත්තෙන්ම එරික් ඉලයප්පාරච්චි සමාජ කතිකාවන් සහෘද හදවත් තුළට ගෙන ඒමට කදිම දක්ෂයෙකි. ඔහුගේ "පරදේසි" කෘතිය ද එවැනි සමාජ ප්‍රශ්න සාකච්ඡාවට ලක් කරන අවස්ථාවක් සහිත කෘතියකි. එහිදී ඔහු වස්තු විෂය කොට ගෙන ඇත්තේ ජාතික හා විජාතිකත්වය තුළ සිර වූ ශ්‍රී ලාංකිකයා ගැන සාකච්ඡා කරන ලාංකීය පාඨකයා කියුබාව, හන්ගේරියාව, නෝර්වේ යන රටවල පමණක් නොව සමාජ, දේශපාලන, සාහිත්‍යය හා දර්ශනය වැනි විෂයයන් රාශියක් වෙත අවධානය යොමු කරන කෘතියකි. එරික් විශ්‍රාමික පෙම්වතිය කෙටි කතාව හරහා ධනපති පන්තිය පෙන්වීමට එහි ක්‍රියාකාරිත්වය නිරූපණය කිරීමට උත්සාහ ගෙන ඇත. එරික් එය නිරූපණය කරන්නේ ජේජේගේ බිරිඳ අලලාය. කථකයා ජේජේගේ  බිරිඳ ගැන පෙන්වා දෙන්නේ මේ අයුරිනි.

"තේ වත්තක හා ස්ටෝබෙරි හරිතාගාරයක් සහිත මල් ෆාම් එකක හිමිකාරියක් සමග සම්බන්ධයක් ඇතිකර.."

"ඒ සම්බන්ධයට පසු ඔහුගේ ඇඳුම් පැළඳුම් සාමාන්‍ය මට්ටමේ ඒවා නොව විශේෂ ටේලර්වරුන් විසින් මසන ලද බ්‍රෑන්ඩට ඒවා විය. ඔහු සිය ආදරබර ආර්යාව සමග එහෙ මෙහෙ ගියේ ඇගේ මෝටර් රථයෙනි. නුවරඑළි ටවුමෙන් දකුණු දෙසට මුහුණලා පිහිටි උස් බිම් දෙකක් අතර අශ්ව ඉස්තාලයක් ඇය සතු අතර ඇයද අසුන් පිට යන්නියක් වූවාය."

අශ්ව ඉස්තාලයක් අප සමාජයේ ජීවත්වන හැම මිනිසකුටම සතු කරගත නොහැක්කකි. එසේ කරගත හැකි වන්නේ කුලවත්, ධනවත් පාර්ශවයන්ට හිමිකාරීත්වය ලබාගත හැකිය. ජේජේ විවාහ වූ පසු ඔහුගේ ජීවන රටාව වෙනස් විය. ඊට හේතුව වූයේ ඔහු ධනවත් හිමිකාරියක් සමඟ විවාහ වූ නිසාය. ජේජේගේ ඇඳුම් පැළඳුම් බ්‍රැන්ඩ්ට් ඒවා විය. දුප්පත් අගහිගකම් ඇති මිනිසුන්ට බ්‍රෑන්ඩට් ඇඳුම් ඇඳිය නොහැක. ඒවා ඇඳිය හැක්කේ සල්ලිකාර සමාජයේ පංති වලට ය. කතුවරයා එදා තිබූ වලව්කාර සමාජ පන්ති භේද තත්ත්වය අද සමාජයේත් පවතින බව සෘජුව නොපසවා වක්‍රාකාරයෙන් පවසා ඇත. සමාජ පන්ති භේදය පමණක් නොව වර්තමාන සංස්කෘතිය, සමාජය ගැන විග්‍රහ කිරීම, සමාජයේ පරිවර්තනය යන මේවා සඳහන් නොකළොත් එරික් එය පුදුම සහගත දෙයකි. මක්නිසාද යත් ඔහු තම කෘතීන් වල සමාජ තත්වය, සමකාලීන සමාජ ප්‍රශ්න කතා කිරීම අමතක කරන්නේ නැත. 

"කුඩා පිරිසක් පාරේ පදික වේදිකාවේ බීර බොමින් සිටියහ. ඔවුන් අතර තරුණ කතුන් කිහිපදෙනෙකු සිටින බව ද ඉන් එකියක් සිගරට්ටුවක් උරන බව ද මම දුටිමි."

සමාජයේ බහුතරයක් පිරිමි පාර්ශවය මත්පැන් පානය කරන බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් මහපාරේ පිරිමින් හා එකට එක තරුණ ගැහැණුන්ද සිගරට් බොන්නට තරම් අද සමාජය කෙතරම් පහළ තලයක සිටින්නේද යන්න ඔබටත් මටත් සිටිය හැකි ප්‍රශ්නයකි. කාලයත් සමග සමාජයේ වෙනස්වීම් අපේ සංස්කෘතියට කෙතරම් බලපෑම් කර ඇත් ද?

"අප තවමත් කාර් වල සෙක්ස් කරන තත්වයට පත් වී නැතත් කැන්ගරුවන් ලා ඇදගෙන යනු ලබන දිවියකට එළඹ ඇති බව සහතික ලෙස පසක් විය."

මෙකී පාඨයෙන් කතුවරයා සෘජුවම සමාජයට පහර ගැසීමක් සිදු කර ඇත. කැන්ගරුවන් ලා යන්න මගින් ඔහු සංකේතවත් කළේ පිටරැටියන් ය. එවැනි සංස්කෘතියකට අප පියමං කරන බව ඔහු එයින් කියා සිටින්නේය. නවීන තාක්ෂණය  හමුවේ විශ්ව ගම්මාන සංකල්පය සමග මුළු ලෝකයම එකම ගම්මානයක් බවට පත්වීමෙන් ලෝකයේ රටවල්වල සංස්කෘතිය රටවල් අතර සංසරණය වීමෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය සියල්ලක්ම සමාජයට ගලා ඒ. එය කදිම ලෙස කතුවරයා ඉහත කී පාඨය තුළින් මතු කරන්නට ගත් උත්සාහය සාර්ථක වී ඇත.

කතුවරයා මේ ආකාරයට දක්ෂ ලෙස කෘතිය රචනා කර ඇති අතර යම් තැනකදී අඩුපාඩුවක් දැක ගත හැකිය. එනම් ජේජේට අනියම් සබඳතා කිහිපයක් පැවතුණු බව කථකයා ප්‍රකාශ කරයි. එය සඳහන් කර ඇත්තේ මෙසේය. "පිරිමි අභිමානය දියුණු කළේය" යන්නයි. ඇත්තෙන්ම පිරිමි කෙනෙකු තමන් ආදරය කරන කෙනා හැර තවත් කෙනෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන්නේ නම් එක නිවැරදි ක්‍රියාවක් යන්න ප්‍රශ්නයක් ඇති වේ. ඒක කෙතරම් පහත් ක්‍රියාවක්ද? පිරිමියෙකු කියා ඔහුට වෙනත් අනියම් සබඳතා පවත්වාගෙන යාමට අයිතියක් තිබේද? එසේ වී නම් මේ ආකාරයට ගැහැනුන් කළහොත් සමාජයේ කෙතරම් තත්ත්වයක් ගැහැනුන්ට හිමිවේද? ඇත්තේම වෙනත් අනියම් සබඳතාවක් ගැහැනියෙකු සමග පවත්වාගෙන යාම පිරිමි අභිමානය දියුණු කිරීමක් නොව එය නොසණ්ඩාල ක්‍රියාවක් වශයෙනුයි මම සිතන්නේ. එසේ නම් එරික් ඉලයප්පාරච්චිගේ අඩුපාඩුවක් ලෙස පැවසීමට ඇත්තේ මෙය පමණයි. භාෂා රීති, බස් වහර, ශබ්දාලංකාර, යොදාගත් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, ධ්වනිවාදය, චරිත නිරූපණය, සංකේත, රසවාදය ඒ වගේම යොදාගත් සමාජය දෘෂ්ටිකෝණය යන සෑම එකක්ම පාහේ එරික් තැනට සුදුසු හෙවත් යෝග්‍ය ලෙස යොදාගෙන ඇති බව ඉහත දැක්වූ කරුණු මගින් සනාථ වේ. මා සිතන පරිදි කතුවරයා මෙයට උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා නොගත්තේ නම් කතුවරයාට සහෘදයා වෙතට කෘතිය ගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක වන්නට තිබුණි. ඔහු මෙම දෘෂ්ටි කෝණය අලලා පෑන මනා ලෙස හසුරුවා ඇති බව පෙනේ.

 

කෙටිකතාවක අඩංගු විය යුතු ලක්ෂණ මෙම විශ්‍රාමික පෙම්වතිය කෘතියෙහි උචිත අන්දමින් ගැබ් කර ඇති නිසා ද ඒ වගේම මෙම කතාව අනෙකුත් කෙටිකතා වලින් වෙනස් වන්නේ කථකයාගේ යටි සිතෙහි සැගවුණු හැගීමක් හෙළි කිරීමට ගත් උත්සාහය නිසාද විශ්‍රාමික පෙම්වතිය වෙනස් ආකාරය කෙටි කතාවක් ලෙස අවසන් වශයෙන් දැක්විය හැකිය. දයාසේන ගුණසිංහ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" කෘතිය තුළින් කෙටිකතාව යන්න දක්වා ඇති විග්‍රහය විශ්‍රාමික පෙම්වතියේ වස්තු විෂය හා සංසන්දනය කළ විට විශ්‍රාමික පෙම්වතිය සහෘදයාගේ සිතේ පැළපදියම් වූ කෘතියක් වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.

"කෙටිකතාව යනු කවරේදැයි එකම වැකියකින් පවසන ලෙස යමෙකු මට කිව්වොත් කෙටිකතාව යනු ජීවිතයේ සමීප රූපයක් යැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් එම කියමන කිසිසේත්ම පරිපූර්ණ නොවන බවට විවාදයක් නැත. එහෙත් කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ ඉඟියක් ඒ තුළ ගැබ් වී ඇතැයි මම සිතමි."

 

විමංසා දිල්ශානි දසිල්වා

Thursday, February 10, 2022

 දැවෙන විහඟුන්හි නිරූපිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය 


ලාංකේය සිනමාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය 


සිනමාව හුදෙක් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල මාධ්‍යයකි. සිනමාව මගින් සමාජයේ  විවිධ ක්ෂේත්‍රයන් සියුම් ලෙස ප්‍රේක්ෂකයා අතරට ගෙන හැර දැක්විය හැකිය. සිනමාකරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සමාජ යථාර්ථයන් සිනමාව ඔස්සේ කලාත්මකව, සංඥාර්ථවේදීව ප්‍රේක්ෂකයා වෙතට මුදා හැරීමයි.  ලාංකීය සිනමාව තුළ සිනමා කෘතීන් සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නේ කාන්තාවයි. පුරුෂ බැල්මෙන් ගොඩනැගුණු සමාජයක ස්ත්‍රියට සමාජයේ පවතින ස්ථානය ලාංකීය සිනමාව ඔස්සේ නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් ඉතාමත් දක්ෂ වී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතීතයේ සිට වර්තමානය දක්වා ම ඉන් ඉදිරියටත් පැවැති යන්නෙකි. මෙකී මාතෘකාවක් කැමරා කෝණයන්ට හසුකර ගනිමින් ප්‍රේක්ෂකයාගේ මනස සමග සිංහල සිනමා බොහෝදුරට ගනුදෙනු කරයි. 


ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්වභාවිකව බිහිවූ දෙයක් නොව එය සමාජ හා මානව විද්‍යාත්මකව සමාජය හා සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු දෙයකි. ලාංකීය සමාජය තුළ ස්ත්‍රියට හිමි වී ඇති ස්ථානය, එකම රටක වුවද නගරබද හා ග්‍රාමීය  ස්ත්‍රියට හිමි වී ඇති තත්වය, සමාජ පන්ති තුළ කාන්තාවට හිමි වී ඇති ස්ථානය, ජාතිය, ආගම, කුලය, අධ්‍යාපනය, ආර්ථිකය, පවුල, දේශපාලන, මාධ්‍ය, නීතිය යන ක්ෂේත්‍රයන් තුළ කාන්තාවට හිමි වී ඇති ස්ථානය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එකී සාධක මත පදනම්ව ලාංකීය සිනමාකරුවන් විවිධ සිනමා කෘති නිර්මාණය කිරීමට පෙළඹී ඇත. ඒ අතර හුස්ම, දඩයම, සුළඟ ගිනි අරන්, දැකල පුරුදු කෙනෙක්, බොරදිය පොකුණ, ඉඟිළෙන මාළුවෝ, ඔබ නැතුව ඔබ එක්ක, නිකිණි වැස්ස, තනි තටුවෙන් පියාඹන්න යනාදී සිනමා නිර්මාණය මෙවැනි සාධකයන් ඔස්සේ බිහි වූ සිනමා නිර්මාණයන් ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සිනමාව ගැන සාකච්ඡා කිරීමේදී අමතක කල නොහැකි සිනමා නිර්මාණයක් ලෙස දැවෙන විහඟුන් හඳුන්වාදිය හැකිය. සංජීව පුෂ්පකුමාරයන් විසින් අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය ඇසුරින් ස්ත්‍රි පුරුෂ සමාජභාවය නිරූපණය කර ඇති ආකාරය මින් ඉදිරියට සාකච්චා කර බලමු.


හැඳින්වීම 


ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය අගනා චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ සංජීව පුෂ්පකුමාරගේ දෙවන  සිනමා දිගහැරවුම වූයේ දැවෙන විහඟුන් ය. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය මෙන්ම දැවෙන විහඟුන් සිනමා නිර්මාණය ද සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ සිනමා නිර්මාණයකි. 2018 ජූනි 29 වන දින සිට ලාංකේය සිනමා ශාලාවල තිරගත වූ දැවෙන විහඟුන් අධ්‍යක්ෂණය, තිර පිටපත් රචනය යන කර්තව්‍යය දෙකම සිදු කළේ සංජීව පුෂ්පකුමාරය. නිෂ්පාදනය ද සංජීව පුෂ්පකුමාර හා ඇන්තෝන ඩෙඩෙට් යන දෙදෙනාය. දැවෙන විහගුන් සිනමා නිර්මාණය ලාංකීය මෙන්ම විදෙස් සම්මාන උදෙසා නිර්මාණය වූවකි. 2016 වසරේ බූසාන් සිනමා උළෙලේ තරගකාරී අංශය ලැබෙන දැවෙන විහඟුන් නියෝජනය කළේය. ඒ වගේම ටෝකියෝ film X සිනමා උළෙලේ දී ජූරියේ විශේෂ සම්මාන අංශය දෙවැනි ස්ථානය දැවෙන විහඟුන් ට හිමිකර ගත හැකි විය. ශ්‍රී ලංකාවේ මෙන්ම නොව කටාර්, ප්‍රංශය, නෙදර්ලන්තය යන  රටවල්හි ද දැවෙන විහඟුන් ප්‍රදර්ශනය විය.


තේමාව 

දැවෙන විහඟුන් චිත්‍රපටය කතා වින්‍යාසයට පාදක වන සිද්ධිදාමය වන්නේ 80 දශකය අගභාගය ලංකාවේ නැගෙනහිර පළාතේ සිදු වූ, තමාට ද අත්දුටු සත්‍ය සිදුවීම් දාමයක් බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වරෙක සඳහන් කර ඇත. ජීවිතයේ ඇති කර්කශ බව මනා ලෙස ජීවන විවරණයක් ඔස්සේ පෙන්වා දී ඇත. 88-89 භීෂණ කාලේ පියෙකුගේ වියෝව සමග පවුලක් අනාථ වූ සැටි මේ චිත්‍රපටයේ නිරූපණය වේ. අරගලකරුවෙකු (සුනිල්) නාදුනන කණ්ඩායමක් එනම් පැරා හමුදා කණ්ඩායමක් අතින් ඝාතනයට ලක් වූ පසුව බිරිඳ වන කුසුම් සුනිල්ගේ මව සහ දරුවන් සමග ජීවත් වීමට උත්සාහ කරන අන්දම චිත්‍රපටයට වස්තු විෂය වී ඇත. සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවකට සමාජයේ ජීවත් වීමේදී ඇතිවන තාඩන පීඩන, ලිංගික සූරාකෑම සිනමා නිර්මාණයේ පුෂ්පකුමාර එය ප්‍රබල ලෙස නිරූපණය කොට ඇත. මේ කතාව දිවයන්නේ ප්‍රධාන චරිතයට පණ ගන්වන කුසුම් තම දරුවන්ව පෝෂණය කිරීමට දරන වෙර ය. කතා සන්දර්භය කුසුම් වටා අළලමින් කුතුහලයක් මෙන්ම පාඨක හදවත් තුළ කරුණා රසයක් ඇති කරමින් කතාව ගලා යයි. සාමාන්‍ය ජීවිතයේදී අප අතරම ජීවත්වන මෙවැනි තවත් කුසුම් වැනි චරිත සිටිනා බව කතාවෙන් ප්‍රකාශිත ය. 


චරිත හැඳින්වීම


කුසුම් 

දැවෙන විහඟුන්හි ප්‍රධාන චරිතය පණ පොවන කුසුම් පෘථුල සමාජයටම සංකේතයකි. විශ්වයේ සිටින සෑම ගැහැනියක් තුළම කුසුම් වැනි චරිත සිටි. ඇය උදාර මවකි. එනම් තම සැමියා වන සුනිල් පැරා හමුදාවක් මගින් පැහැර ගොස් ඝාතනය කර දා පටන් ඇය සැමියා නොමැතිව ළමයි අටදෙනෙකු පෝෂණය කිරීමේ වගකීම භාර ගත්තේය. තම දරුවන් පාසල් යවන්න, කන්න බොන්න, අඳින්න පළඳින්නට ඇය නොයෙකුත් රැකියාවන් සොයා යයි. සැමියා නොමැතිව ජීවත්වන කුසුම් කෙරෙහි එල්ල වන පුරුෂ බැල්ම ඇයගේ ජීවන ගමනට බාධාවක් වුවද ඇයට අවසන් මොහොතේදී ලිංගික ශ්‍රමය සැපයීමට සිදු වෙයි. ගමේ මිනිස්සු ඇයට ගල් ගසන්නේ, ඇයව පිළිකුල් කරන්නේ තමන්ගේ ඇඟ විකුණා කන වෛශ්‍යාවක් බවට ය. ඇයට සැමියා අහිමි වූ විට උදව්වකට සිටියේ සුමනා වන ඇගේ මිතුරිය පමණි. දරුවන් අට දෙනෙකු පෝෂණය කර ගැනීමට නොහැකිව සිටි වාර ගණන අනන්තය. නමුත් එක් ගම් වැසියෙකු ඇයට උදව්වට සිටියේ නැත. නමුත් ලිංගික ශ්‍රමය සැපයූ විට ඇයව වෙසඟනක් බවට පත්කර ගමෙන් ද පන්නා දමන්නට ගමේ මිනිසුන් කදිමය. 

ඇයගේ පළමු රැකියාව වූයේ ගල් වැඩපලක ගල් කඩන රකියාවක් ය. එතනින් පසුව දෙවැනි රැකියාව වූයේ ගව ඝාතනාගාරයක් පිරිසිදු කිරීමය. එතනින් එල්ල වූ පුරුෂයාගේ රාගික බැල්ම නිසා ඇයට මුදල් සෙවීමට හැකි එකම මඟ ලෙස සැලකුනේ ලිංගික ශ්‍රමය අලෙවි කිරීම ය. 

ඇය උදාර මවකි. තමන්ගේ ලොකු දියණියව වන වාසනා ද කිසිදු රැකියාවකට නොයවා ඉගැන්වීමට වෙර දැරුවේය. ඇය සෙනෙහෙවන්ත බිරිඳකි. සුනිල්ගේ මියයාමෙන් පසුව කිසිදු පිරිමියෙකු නොපතා තනිව ජීවත් වීමට උත්සාහ කළාය. සුනිල්ගේ මව ද රැක බලා ගත්තාය. ඒ වගේම ඇය සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවට යාමේදී සිය සැමියාගේ පින්තූරය දෙස බලා ආයාචනාත්මක ලෙස සමාව අයැදීම නිර්මාණකරුවා ඉතාමත් සංකේතානුසාරයෙන්  දක්වා ඇත.

ඇය නිහතමානී චරිතයක් විය. හන්දිය කඩේ මුදලාලි සුනිල්ට මරණය කැඳවූයේ පාසලේ විදුහල්පතිතුමා ලෙස පැවසුවද ඇයගේ පසුපස ගියේ නැත. විදුහල්පතිතුමාගෙන් පළිගන්නට ඇයගේ නැත. චිත්‍රපටය අවසානයේ දී යක්ෂණියක් බදු වූ කාන්තාවක් බවට පත් විය. මක් නිසා ද යත් ඇයට මෙතරම් කරදර, තාඩන පීඩන සිදුවූයේ විදුහල්පතිතුමා තම සැමියාව බිල්ලට හසුකර දීම නිසා ඇය විදුහල්පතිතුමාට පිහියකින් කොටා මරා දමයි. විදුහල්පතිතුමාට  පිහියෙන් අනින අනින වාරයක් පසා ඇය විදී දුක ඇයගේ මුහුණෙන් ප්‍රකාශිත ය. 


වාසනා 

කුසුම්ගේ වැඩිමහල් දියණිය වන්නේ වාසනා ය. ඇය අනෙක් දරුවන් හත් දෙනාට වඩා වයසෙන් වැඩිය. ඇයට සමාජය ගැන දැනුමක් පවතී. පියාගේ මරණින් පසුව මව ජීවත් වීමට මඟක් සොයන අවස්ථාවේ දී ඇය කොළඹ ඇඟලුම් කර්මාන්තයක රැකියාවක් යාමට කැමති බව ඇය මවට යෝජනා කරයි. බවට හිතාදර දියණියකි. මව ගැන නිරන්තරයෙන් සැලකිල්ලෙන් සිටි. මවගේ අත්වල රෑට තෙල් ගා හිත සනසයි. වරෙක ඇය විවාහ වීමට කැමැත්තක් දක්වයි. "අම්මට කසාද බඳින්න ඕන"  එසේ පවසන්නේ අම්මා ඔවුන්ව පෝෂණය කිරීමට දරන වෙහෙස මහන්සිය දැකය. 

තවත් විටෙක ඇය අනෙක් සහෝදර සහෝදරියන්ගේ ලොකු අක්කා ය. මව රැකියාවට ගිය මොහොතේ පටන් නංගිලා මල්ල රැක බලා ගත්තේ, කවා පොවා හදා ගත්තෙ වාසනා ය. ඇය සෙනෙහෙවන්ත සහෝදරියක් වගේම මවට ආදරණීය ලොකු දුවකී. මව සම්බාහන මධ්‍යස්ථානයට රැකියාවක් කරන බව දැනගත් පසුව ඇය මවට රැකියාවට නොවෙනස් ඉල්ලා සිටි.  සියලු බර දරාගෙන ඇය කොළඹ ඇඟලුම් කර්මාන්තයක සේවිකාවක් වශයෙන් නංගිලා මල්ලිලා රැගෙන කොළඹට යයි. ඇයත් තම මව මෙන්ම ධෛර්යවන්ත කෙනෙකි. 


ගව ඝාතනාගාරයෙ මුදලාලී

කුසුම් ගැන රාගය නමැති ගින්නෙන් පෙළේ. කුසුම් ඩැහැ ගැනීමට දවස් ගණන් බලා සිටී. මුදලාලි කෙනෙක් වශයෙන් කුසුම්ගේ හිත තුළ "හොඳයි" යන නාමය ඇති කරවයි. දරුවන්ට කන්න මස් පාසලක් ලබා දීම හා ස්ථානය වැඩ කරන මිනිහෙක් ගෙන් කුසුම්ට කරදර කරන්නට පැමිණි වෙලාවේ ඇයව බේරා ගෙන හොඳ නම දිනා ගනී. නමුත් මුදලාලි අවසානයේ දී ඇයව දූෂණය කිරීමට යොමු වේ. මුදලාලි යහළුවන් සමඟ ද කුසුම සමූහ දුෂණය කරයි. 


මුදලාලිගේ චරිතය තුළින් පුරුෂාධිපත්‍ය බලය පෙන්වයි. ඇය ඔහුට පාර දී පැන යාම නිසා යහළුවන් යවා ඇයව බලහත්කාරයෙන් ගෙන්වා ඇයව සමුහ දූෂණයට ලක් කරයි.

" තෝ මම කවුරු කියාගෙන ද හිතාගෙන හිටියේ" 


චිත්‍රපටයේ නිරූපිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය 

 ශ්‍රී ලාංකික සමාජය තුළ බොහෝ සෙයින් දක්නට ලැබෙන කාරණාවක් වන්නේ තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයා නොමැතිව ගැහැනියකට ජීවත් විය නොහැකි බවයි. ලංකාවේ බහුතරයක් දෙනාගේ අදහස වන්නේ එයයි. නමුත් නූතන සමාජය තුළ කාන්තාව පැරණි සමාජයේ කාන්තාවට වඩා සිතන ආකාරයේ බොහෝ සෙයින් වෙනස් කොට ඇත. විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මිය ගිය තවත් වී පිරිමියෙක් සමග විවාහ ජීවිතයක් ගත කරන්නේ නම් ඇය සමාජයෙන් නරක ගැහැනියක් බවට පත්වෙයි. බොහෝ දෙනා පවසන්නේ "මහත්තයා මැරිලා අවුරුද්දක් බවත් ගියේ නැහැ තව එකෙක් බැඳගෙන" යන වදන් අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ.  ගැහැණියට පිරිමියෙක් නැතුව සමාජය අනාරක්ෂිත බවක් පවතියි බව සමාජයේ මතයයි. එම මතය ගොඩනඟා ඇත්තේ සමාජයේ සිටින හුදෙක් පිරිමි පාර්ශ්වයයි. පිරිමියෙකුගේ රාගික බැල්ම වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් යොමු වන ඉඩ ප්‍රස්ථාව අධිකය. රැකියා ස්ථානයකි දී, පොදු  ප්‍රවාහනයේ දී, සමාජ කටයුතුවලදී, පවුල නෑදෑ හිතවතුන් අතර දී ගැහැණිව අඩත්තේට්ටම්, හිංසනයන්, දූෂණයකට ලක් විය හැකිය. විශේෂයෙන් රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානියාගේ බැල්මට කාන්තාවන් යොමු වේ. 

දැවෙන විහඟුන්හි කුසුම් ද තම ස්වාමියා අහිමි වූ කාන්තාවකි. ඇය ගව ඝාතනාගාර ස්ථානය පිරිසිදු කිරීමට රැකියාවක් වශයෙන් තෝරා ගනී. ප්‍රධානියා මුලින්ම ඇයට කරුණාවන්ත කෙනෙක් බව පෙන්නුම් කරයි. ඔහුගේ යාලුවන්ට ද පවසන්නේ "පව් ළමයි අට දෙනෙක් ඉන්නවා" කියාය. ඇය කෙරෙහි අනුකම්පා ස්වරූපයක් හෙලුව ද ඔහුගේ යටි හිතේ අභිප්‍රාය වූයේ ඔහුගේ මත් වු රාගයට ඇයව හසු කර ගැනීමයි. ඇය ඇඳුම් මාරු කරන ස්ථානයට පැමිණි විට ඔහුව තල්ලු කර ඇය දිව ගිය පසු ඔහු ඇයව ආමන්ත්‍රණය කරන්නේ "පට්ට වේසි" යන්නයි. ඔහුගේ අභිප්‍රාය ඉටු නොවුණු නිසා ඔහුට ඇය පට්ට වේසියෙකි. නමුත් වැඩ පිලට පැමිණි මුල් දිනයන් වලදී ඇය දරුවන් අට දෙනෙක් සමග තම ශක්තියෙන් රැකබලාගන්නා අහිංසක ගැහැනියකි. සමාජයේ පිරිමියා සිතන ආකාරය පුෂ්පකුමාර සියුම් ලෙස ගෙන හැර පා ඇත. එවැනි අවස්ථා උද්දීපනය කොට පෙන්වීමට යොදාගත් කැමරා කෝණයන් ද ඉතා අගනේය. 

ස්වාමිපුරුෂයා මියගිය කාන්තාව සමාජය තුළ අසරණය. පුරුෂාධිපත්‍ය එනම් ගව ඝාතනාගාර ප්‍රධානියා තම පුරුෂාධිපත්‍ය පෙන්නුම් කරයි. ඔහුගේ දැවෙන රාගයෙන් පළමුව ඇය මිදී ගිය පසු ඔහු මිත්‍රාදීන් ලවා ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ඇයව ප්‍රධානියාගෙන් පමණක් නොව ඔහුගේ මිත්‍රයන්ගේ ද දැවෙන රාගයට දමාලයි. 

"තෝ මම කවුරු කියාගෙන ද හිතාගෙන හිටියේ" ඔහුගේ පුරුෂාධිපත්‍ය මෙමගින් සංකේතවත් වේ. 

මෙම සිනමා නිර්මාණයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිරූපණය වන මා දුටු තවත් සිදුවීමක් වූයේ ඇය සම්බාහන මධ්‍යස්ථානයට තම ලිංගික ශ්‍රමය සපයන අවස්ථාවේදී ය. දිනක පොලිසිය එම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ දී ඇය ද කොටු විය. එහි සිටි වයසක පිරිමියාට බැණ එළවා ගත්ත ද කුසුම්ව පොලිස් භාරයට ගනී. පොලිස්කාරයා ඇයට කම්මුල් පාරවල් දෙකක් ද ගසයි. 

"ඔබට ලැජ්ජ නැද්ද උස්මහත් ගෑනු දරුවන් ඉදිද්දි වේසකම් කරන්න." 

මෙවැනි වදන් පෙළින් ඇයට බැණ වදී. කුසුම් නිරත වූයේ රැකියාවකය. සමාජයේ අපි ආයතනයක් පටන් ගන්නේ ඒ ආයතනය හා සම්බන්ධ වන පාරිභෝගිකයන් සිටින නිසයි. නිදසුනක් වශයෙන් ගෙනහැර දැක් වූවහොත් අපි යම් ප්‍රදේශයක බැංකුවක් ආරම්භ කරන්නේ ඒ බැංකුව හා සම්බන්ධ පාරිභෝගිකයන් සිටින නිසාය. එසේ නම් මේ සිනමා නිර්මාණයේ දී කුසුම් සිදුකර ඇත්තේ කුමක්ද ? මෙවැනි සමාජ දෘෂ්ටිය අපි නැවත සිතන්නට යොමු විය යුතුය. 

තවදුරටත් මෙම කරුණු පැහැදිලි කරන්නේ නම් මා නැරඹූ එක් කෙටි චිත්‍රපටයක් මතකයට නැගුණි. පෙටූනියා නම් කෙටි චිත්‍රපටියේ එකී ප්‍රධාන චරිතය මල්කිට ඇත්තේ පිරිමින් සමග ගණුදෙනුවකි. ඇයත් රැකියා වශයෙන් කරන්නේ ලිංගික ශ්‍රමය සැපයීමයි. එක් මොහොතකදී ඇයගෙන් තම ගනුදෙනුකරුවන් මෙසේ අසයි. "මේ රස්සාව කරන්නේ ඇයි?" ඔහු ඇසීය. ඇය ලබාදුන් පිළිතුර වන්නේ "පිරිමි ඉන්න නිසා" යනුවෙනි. 

මෙවැනි අවස්ථාවලදී සමාජයේ නරක බැල්ම එල්ල වන්නේ කාන්තාවටයි. කාන්තාව ලඟට එන පිරිමින්ට කිසිදු බැල්මක් එල්ල වන්නේ නැත. චෝදනා ලබන්නෙත් නැත. මෙම සිනමා නිර්මාණය කුසුම පොලීසියට කොටු වූ දා පටන් ඇයගේ දරු පවුලට ගල් පහර එල්ල වේ. ඇයගේ නිවසේ "වේස ගෑණුන්ට මේ ගමේ ඉඩ නැහැ" යන්න කැලෑපත්තර ද ගසා ඇත. සැමියා නොමැතිව සමාජයේ අඩත්තේට්ටම් වලට ලක් වෙමින් ළමයින් 8 දෙනක් උස් මහත් කරන්නට කුසුම් ගත් වෙර ඇය සිදුකළ අවසන් රැකියාවෙන් අවසන් විය. ගමේ මිනිස්සු කියා සිටින්නේ ඇය දුක් මහන්සි වී හෝ පිරිමින්ගේ කටුක බැල්ම වල් වලට ලක් වෙමින් තම දරුවන් පෝෂණය කළ යුතු බවයි. එබැවින් ඇය උදාර මවකි. නමුත් දැන් ඇය වෙසඟනකි. 

ස්ත්‍රියකගේ ශ්‍රමය අතීතයේ සිට අද දක්වාම ඉතාමත් සුවිශේෂී සාධකයකි. ධනවාදී ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවූ දේශීය ආර්ථිකයේ ප්‍රධාන උපයන්නා වී ඇත. ඇඟලුම් කර්මාන්ත, තේ කර්මාන්ත, විදේශ විනිමය, සූපවේදය, මනාලියන් ඇන්දවීම, ස්වයං  කර්මාන්ත/ ව්‍යාපාර වල ප්‍රධාන ආර්ථිකයා වන්නේ කාන්තාවයි. තව ද දවසේ කුලී රැකියාවලට ද කාන්තාව තම ශ්‍රමය ලබා දෙයි. මෙවැනි කාර්යයන් වල නිරත වූව ද කාන්තාවකගේ රැකියාව පුරුෂයාගේ රැකියාවට වඩා අඩු වැදගත්කමක් සමාජය තුළින් ලබා දී ඇත. 

සංජීව පුෂ්පකුමාර දැවෙන විහඟුන් ඔස්සේ කාන්තාවගේ ශ්‍රමය වැදගත් කොට පෙන්වා දී ඇත. කුසුම්ගේ ශරීර ශක්තිය, ඇයගේ ස්වයං විශ්වාසය, හිතේ ඇති දැඩි බව, තාඩන පීඩන ඔස්සේ නොසැලී සිට ගැනීම යන එකී ලක්ෂණ කුසුම් තුළින් ගෙනහැර දැක්වීමට සමත් වී ඇත. කුසුම්ගේ සැමියා මිය ගිය පසු ඇයගේ මුල්ම රැකියාව වූයේ ගල් වැඩපලක ගල් තැලිමයි. එම ගල් වැඩපළහි කුසුම් පමණක් නොව තවත් කාන්තාවන් සේවයේ නිරත වේ. සමාජයේ පිරිමියාගේ වැඩ ගැහැනියගෙ වැඩ යනුවෙන් බෙදා දී ඇත. ගැහැණිය ගෙදර දොරේ වැඩ, දරුවන් රැක බලා ගැනීම යන වැඩ ගැහැනියට ගුණ බවත් පිරිමියාට බර වැඩ කළ හැකි යන්න සමාජය විසින් බෙදා දී ඇත. දැවෙන විහඟුන්හි කුසුම් සිදු කරන්නේ පිරිමියෙකුගේ මේ වැඩ වලට සමාන වැඩය. 

ඇයගේ දෙවන රැකියාව වන්නේ ගව ඝාතනාගාරයක් පිරිසිදු කිරීම ය. පළමු දවසේ ප්‍රධානියා වන මුදලාලි පවසන්නේ 

"මේ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් කියලා හිතනවද? අනික කිසි ගෑනියෙක් මේ මඩුවේ වැඩ කරන්නෑ"  මුදලාලි ද කුසුම්ගේ ශ්‍රමය ගැන විශ්වාසයක් නොතබා කතා කරයි. මුදලාලි එසේ  ප්‍රකාශ කරන්නට ඇත්තේ සමාජය විසින් වෙන් කර දී ඇති පිරිමින්ගේ වැඩ හා ගැහැනියගෙ වැඩ යන සංකල්පය මතය. 

දැවෙන විහඟුන් ඔස්සේ පුෂ්පකුමාරට අවශ්‍ය වූයේ කුසුම්අලලා කාන්තාවගේ ශක්තිය, ධෛර්යය පෙන්වීමයි.පිරිමින් විසින් කාන්තාවකට කරන්නට නොහැකි යැයි පවසන කාර්යයන් සිදු කළ හැකි බව ඔහුගේ සිනමා නිර්මාණය හරහා ගෙන හැර දැක්වීමට ඔහු උත්සාහ කර ඇත. මා සිතන ආකාරයට ඔහු ගත් උත්සාහය සාර්ථක ය.


නිගමනය 

ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ බිහි වූ දැවෙන විහඟුන් චිත්‍රපටය සංජය පුෂ්පකුමාරයන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට සිනමා නිර්මාණයකි. චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතයට පණ පොවන කුසුම්ගේ චරිතය ගොඩනැගෙන්නේ පුරුෂ බැල්ම අරඹයා ලිංගිකව සූරා කන ගැහැනියක් ලෙසත් අනෙක් පැතිකඩෙන් තම ස්වාමිපුරුෂයා නොමැතිව දරුවන් අට දෙනකු පෝෂණය කිරීමට, ජීවිතය ගැටගසා ගැනීමට පොර බදින ධෛර්යය කාන්තාවක් වශයෙනි. ඇයගේ ඒ ගමනට බාධා හෙලන පිරිමියාගේ රාගික් බැල්ම හේතුවෙන් ඇයගේ ජීවිතය වෙනස් වෙන ආකාරය ඒ වගේම සමාජය තුළ ස්වාමිපුරුෂයා අහිමි වූ කාන්තාවකට හිමිවන ස්ථානය යනාදී කරුණු ඉතාමත් දක්ෂ ආකාරය දැවෙන විහඟුන් ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන ගොස් ප්‍රේක්ෂකයන්ට සිනමා නිර්මාණය තුළ කිඳා බැස්වීමට දැවෙන විහඟුන් දක්ෂ වී ඇත.


🖊️විමා...



Monday, May 31, 2021

අදින් අවසන් කරමි, 

ඔබෙන් සමුගන්නට නොහැකිව 

ලත වෙන මගේ හිත

තවමත් ගොලු හදවතක් මත ය.

හිතට බොහෝ වෙහෙසයි,

නුඹේ පසුපසින්ම දිව ගොස්

නවතින්නට,

නුඹට ඕනෑ නැත.

ඉදින්,

මගේ සෙනෙහේ හද පතුලටම වළලා දමා

මම ද,

මේ උමතුවෙන් ගැලවී යාමට

සැරසෙමි...


මුතු🖊️🍂






Sunday, February 21, 2021

 Assignment හා Exam අස්සේ 

හිර වුණු අපේ හීන

විදගන්නටවත් තරම් වරම් නැත

ඒ කාලයේ සුන්දරත්වය...

සිව් වසරක් පුරා ගෙවෙන අපේ

සරසවි ගමන 

තිරයක් ඉදිරිපිට 

ගෙවයි අද අපේ සරසවි ගමන

ජිවිතයේ රස තැන් සොයා යන 

මේ වසරේදී 

බිත්ති හතරකට කොටු වූ අපේ ජිවිතවලට

ඉඩක් නොමැති ද ගෙවන්නට 

ඒ මිහිරි කාලය ? 😕


මුතු🖊️🍂

Sunday, February 7, 2021

 වර්තමාන ටෙලි නාට්‍යය කරණය ගැන ඇත්තේ ඔබ තුළ කෙබඳු අදහසක් ද?

වානිජකරණය වූ ටෙලිනාට්‍ය කලාව තම ටෙලි නාට්‍යය වෙළඳ භාණ්ඩය කරගෙන මුදල් පසුපස හඹා යන ගණයේ ටෙලි නාට්‍යය ඕන තරම් අද රූපවාහිනියේ දැක ගත හැකිය. ඇත්තෙන්ම ටෙලි නාට්‍යයක් වනාහි එහි අරුත කුමක්ද? බොහෝ දෙනා වර්තමාන ටෙලිනාට්‍යකරණය කුමක්ද යන්න බව නොදැන ටෙලිනාට්‍යයකරණයේ නියැලෙති. කුමක්ද මේ ටෙලි නාට්‍යය මගින් අරුත් ගැන්වෙන්නේ? ටෙලි නාට්‍ය කලාවක් චිත්‍රපටි කලාවේ මූලික මාධ්‍ය වූ දෘෂ්‍ය රූපයත් ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රකාශන මාධ්‍යය වූ දෘෂ්‍ය රූපයත් ගුවන් විදුලි නාටක ප්‍රකාශන මාධ්‍යය වූ ශ්‍රව්‍ය නීතිය වේදිකාවේ මූලික ප්‍රකාශන මාධ්‍යය වූ රංගන රටාවන් එකට මුසු කරගත් විශේෂිත වූ කලාවකි.

ටෙලිනාට්‍ය යන වචනය අපට දායාද කළේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ආරම්භක ප්‍රධානියා වන ධම්ම ජාගොඩයන්‍ ය. ටෙලි නාට්‍යයේ අර්ථය ට වටිනාකමක් නොදී එය වචනයට පමණක් සීමා කර නිපදවන වර්තමාන ටෙලි නාට්‍යය පිළිබඳ මා හද තුළ ඇත්තේ කණගාටුවකි. ටෙලි නාට්‍යයකදී විය යුත්තේ ගුණාත්මකභාවයෙන් පිරි සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ කතිකාවන් ගොඩනගා එහි නියම ස්වරූපය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි. නමුත් අද ටෙලි නාට්‍යය තුළ දැකගත හැකි වන්නේ පුහු ආටෝපයන් ය. ප්‍රායෝගික ජීවිතේ සැබැවින් ක්‍රියාවට නැංවිය නොහැකි දේවල් මවාපෑමයි. සිනමාවට, ටෙලි නාට්‍යයට, වේදිකාවට යන ඒවාට ගොඩනැගී ඇති ප්‍රේක්ෂක පිරිසක් සිටින බැවින් ටෙලි නාට්‍යය වටා බැඳුණු ප්‍රේක්ෂක පිරිසට ලබා දෙන සමාජ පණිවිඩය කුමක්ද? වර්තමාන ටෙලිනාට්‍ය හුදෙක් විනෝදාස්වාදය පමණක් අරබයා විකාශනය වන්නක් බව එකහෙලා පැවසිය හැකිය. නිදසුන් වශයෙන් දෙවෙනි ඉනිම, සංගීතය, සිදූ යන ආදී ටෙලි නාට්‍ය ගැන ඇත්තේ කණගාටුවකි. ප්‍රේෂකයාගේ ජනාදරය දිනා ගත් ජනප්‍රියම ටෙලි නාට්‍යය වුවද ප්‍රේක්ෂකයාද ජනප්‍රිය සංස්කෘතියේ පෙළඹී ඇති නිසා ඔවුන් ඉලක්ක කරගන්නේ ජනප්‍රියත්වයයි. එම නිසා ටෙලි නාට්‍ය තුළ පවතින ගුණාත්මක භාවය නොසලකා හැරේ.

මගේ මතකයේ හැටියට මා ළමා අවදියේ පසුවන විට මට ගුණාත්මක බැවින් පිරි ටෙලිනාට්‍ය, සමාජ යථාර්ථය පිළිබිඹු කරන ටෙලි නාට්‍ය දැක බලා ගැනීමට තරම් මගේ නෙත් වාසනාවන්ත විය. ඒ අතර තක්සලාව, හැන්දෑව, දෙගංමැදියාව, අප්පච්චි, One way, අඹ යාලුවෝ වැනි ටෙලිනාට්‍ය එකල මගේ හද දිනාගත් විශිෂ්ට ටෙලිනාට්‍ය විය. අද ද මා සොයන්නේ එවැනි ටෙලි නාට්‍යයන් ය.  නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යය ගැන විශේෂ අවධානයකට ලක් වූ ටෙලි නාට්‍යය කිහිපයක්ද පවතී. 



වාණිජකරණයට හසු ටෙලි නාට්‍ය වලට වඩා මෙවැනි ටෙලිනාට්‍ය දහස් වාරයකින් ඉහළ තැනක තැබිය හැකිය. කූඹියෝ, සහෝදරයා, සුදු ඇදගෙන කලු ඇවිදින්, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, තාත්තා, අඩෝ මෙවැනි නව තේමාවන්, සංකල්ප, සමාජ කතිකාවන් කැටි කොටගත් මෑත කාලයේ බිහි වූ මෙවැනි ටෙලි නාට්‍යයන් ප්‍රසාදයට පාත්‍ර කළ යුතුය. මෙවැනි ටෙලි නාට්‍යය වටා සිටින ප්‍රේක්ෂක ජනතාව සීමිතය. මක් නිසා ද යත් ප්‍රේක්ෂකයා පුහු ආටෝප වලට හා ජනප්‍රියත්වයට මෙන්ම විනෝදාස්වාදය පමණක් ලබා ගැනීමට කැමති නිසාවෙන් මෙවැනි ටෙලිනාට්‍යවලට වඩා වාණිජකරණය වූ ටෙලිනාට්‍යවලට බොහෝ සෙයින් ඇලුම් කරති.


ඒ වගේම ඉන්දීය ටෙලි නාට්‍යය අද ලාංකීය ටෙලි නාට්‍යය සමාජය තුළ විශේෂ ස්ථානයක සිටි. ප්‍රායෝගිකත්වය නොමැති කතා, යථාර්ථයට වඩා මවාපෑමක් සිදුවන මෙවැනි ටෙලි කතා පිටරටට සල්ලි දීලා ගන්න තරම් තවත් අනුවණ ක්‍රියාවක් නැත. අද සෑම දෙයක් මුදල මත පමණක් යැපෙන දෙයක් බවට පත් වී ඇත. 

තවමත් ඉවරයක් දක්නට නොමැති මේ ආදරේ ඉන්දීය ටෙලිනාට්‍ය කුමක්ද මේ ප්‍රේක්ෂකයාට ගෙනහැර පාන්නේ? මම තවමත් මේ ටෙලි නාට්‍යයේ තේමාව සොයයි. ඒ වගේම එවැනි කතා වල වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව අසම්මත ගුණාංග සමාජ ගත කරයි. ප්‍රේම දඩයම වැනි නාට්‍ය මගින් පිළිගත නොහැකි මිත්‍යා මතයක් තේමාවන් කොටගෙන එය රස වින්දනය උදෙසා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම තවත් කියන්නට තරම් දෙයක් නොමැත. කෙටියෙන් පැවසුවොත් පිළිකුල්ය. 

වර්තමාන ප්‍රේක්ෂකයා විනෝදාස්වාදය ලෙස සලකන්නේ තමන්ට හිනාවක්, විනෝදයක් පමණක් ගෙන දෙයක් ලෙසය. නමුත් විනෝදාස්වාදය මගින් අර්ථ ගැන්වෙන්නේ යම් තොරතුරක් හුදු තොරතුරක් ලෙසම ලබාදීමට වඩා එයට යම් වින්දනයක් එක් කරමින් ලබා දීමයි. චාල්ස් ඔස්ගුඩ් නැමැති මනෝ විද්‍යාඥවරයා  විනෝදයේ අර්ථ දෙකක් පෙන්වා දී ඇත. එනම් ග්‍රහකයා තුළ ඉතා සැහැල්ලු ප්‍රමෝදයක් ඇතිකිරීම හා කිසියම් ජිවනාවබෝධයක් ඇති කිරීමයි. ඒ අනුව සතුට, සැහැල්ලුව,  ප්‍රීති ප්‍රමෝදය, උද්යෝගය සහිත විනෝදයත් ද ගැඹුරු ලෙස දැනුම, අවබෝධය, ඥානය ලබාදීම සිදුවිය යුතුය. මේවා ආදර්ශයට ගනිමින් ගනිමින් ඔබටත් මටත් ලාංකේය ටෙලි නාට්‍ය ගැන සිතන්නට තව ඇත.

🖊️ විමංසා දිල්ශානි 


Saturday, January 30, 2021

 වචනය 

සමහරුන්ගේ හිත් පෑරෙන 

සමහරුන්ගේ හිත් සතුටු කරවන

තවත් අයට වේදනාව ගෙන දෙන 

මරණය කැඳවන

වචනය 

නුඹ හරි පුදුමාකාරයි. 💔


මුතු🖊️🍂


Saturday, January 9, 2021

 ඔබගේ පවුලේ සාමයත් මාධ්‍ය විසින් බිලි ගෙන ද?


වර්තමානයේ කාගෙත් ඇස යොමුවන්නේ පවුල් සාමයේ දෙසටයි. වත්මන් කාල පරාසයේ බහුතරයක් පිරිස කොටු වී සිටින මාධ්‍ය අද පවුල නමැති සුන්දර සංකල්පයට කොඩිවින සිදු කර ඇත. පවුලේ සාමයට බලපෑම් කරන මේ මාධ්‍ය ගැන සරල අදහස් දැක්වූහොත් මාධ්‍ය යටතේ අපට ප්‍රධාන කොටස් දෙකක් පෙන්වා දිය හැකිය. එනම් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යය වේ. ඊට අමතරව නව මාධ්‍යයේ මඟින් බිහිවන සමාජ මාධ්‍ය ද මේ ගණයට ගත හැකිය. පුවත්පත්, සඟරා, රූපවාහිනිය, ගුවන්විදුලිය, දුරකථන යන මාධ්‍ය අතුරින් රූපවාහිනී මාධ්‍ය ප්‍රබල සමාජානුයෝජනයක් තවත් ආකාරයකින් කිවහොත් තොරතුරු වාහකයක් වේ. ඒ වගේම තාක්ෂණයේ දියුණුවත් සමග Facebook, instragram, Whatsapp, Viber, Youtube යන සමාජ මාධ්‍ය ද වර්තමානයේ ක්ෂණික තොරතුරු හුවමාරු වාහකයකි. එසේ නම් අප මීළඟට පවුලේ සාමයට මාධ්‍ය බලපෑම් කරන ආකාරය ගැන සාකච්ඡා කර බලමු. 

ගෘහස්ථ සාමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ගෘහස්ථ සාමාජිකයන් එකිනෙකා හා ගෘහයට සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර සියලු පාර්ශවයන් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම ගෘහස්ථ සාමය ලෙස සරලව දැක්විය හැකිය. ගෘහයක් යනු යම් පිරිසක් ජීවත්වන භෞතිකමය ගොඩනැගිල්ලක් නොව එහි ජීවත් වෙන ආසන්න ඥාතීන් අතර පවත්නා සම්බන්ධතාවය වන බැවින් ගෘහයේ පැවැත්මට සාමය හා සහජීවනය අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සාමය හා සහජීවනය දේශීය සංස්කෘතිය විසින් ද අගය කරන වැදගත් සංසිද්ධියක් වේ.

ගෘහස්ථ සාමය පවත්වාගෙන යන උපකරණය වන්නේ සන්නිවේදනයයි. එම නිසා ගෘහයේ සාමාජිකයන්ට ප්‍රමාණවත් සන්නිවේදන නිපුණතා පැවතිය යුතුය. මේ නිපුණතා අතරින් ජනමාධ්‍ය භාවිතය ද ඇතුළත් වේ. ජනමාධ්‍ය භාවිතය ගෘහස්ථ සාමය පවත්වාගෙන යාමට නිපුණතාවයක් වූවද වර්තමානයේ දී මාධ්‍ය භාවිතය පවුලේ සාමය විනාශ කර දමන ප්‍රධාන කාරකයක් වී ඇත. වත්මන් පවුල් පරිසරය තුළ දරුවන් පමණක් නොව මව පියා ද මාධ්‍ය වෙත අධික ලෙස නැඹුරු වී ඇත. පවුලේ සැවොම එකට අසුන්ගෙන රාත්‍රී කාලයේදී රූපවාහිනී නරඹයි. තවත් සමහර ජංගම දුරකථන වලින් සමාජ මාධ්‍යවල සැරිසරති. තවත් පිරිසක් ජංගම දුරකථන මගින් හෝ පරිගණක මගින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙති. මෙවැනි ක්‍රියාවන් නිසා පවුලේ සාමාජිකයන් අතර පණිවිඩ හුවමාරුවක්, එදිනෙදා වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමක්, සතුටු සාමිචියේ යෙදිමේ අවස්ථාවක් නොමැති මට්ටමකට පැමිණී ඇත. ඒ වගේම තම තමන් තමන්ට පැවරී ඇති වගකීම් පැහැර හැරීමට ද පෙළඹී ඇත. සාර්ථක සන්නිවේදන ක්‍රමයක් නොමැති වීම, අනෙක් අතර අදහස් හුවමාරු නොමැති වීම, පවුලේ සාමාජිකයන් අතර විශ්වාසී බිඳීයාම, අනෙකාව අවබෝධ කරගැනීමට කාලයක් නොමැති වීම, අන් අයගේ මතවලට ගරු නොකිරීම, සභානුභූතියෙන් තොරවීම යන ආදී ගැටලුවලට වර්තමාන සමාජයේ බොහෝ පවුල් පරිසරයන් වල තත්ත්වය මෙය විය හැකිය. විශේෂයෙන් දෙමාපියන් හා දූ දරුවන් අතර සම්බන්ධතාවය දුරස් වීම නිසා දරුවන් යහපත් චර්යාවන් වලට, විවිධ ඇබ්බැහිවීම් වලට ගොදුරු වන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාමත් වැඩිය. 

එසේ නම් මේ සඳහා අප කළ යුත්තේ කුමක්ද?  ගෘහයක් තුල සාමය පවත්වාගෙන යාම එම පවුලේ සාමාජිකයන් සියල්ලන්ගේම වගකීමකි. ඒ වගේම අනෙකාගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනවාට වඩා ප්‍රථමයෙන් තමන්ගේ අඩුපාඩු නිවැරදි කර ගැනීම ඉතාමත් වැදගත් වේ. පවුල නමැති සංකල්පය මානවයාගේ අතීතයේ  ඉතිහාසයේ සිට පැවතගෙන එකක් වන අතර අපගේ සංස්කෘතික උරුමයක් වන බැවින් එය රැකගැනීම පවුලේ සෑම දෙනාගේ වගකීමකි. ඒ අතර පවුලේ වැඩිහිටි පාර්ශ්වයටද දරුවන්ගේ මාධ්‍ය භාවිතය අවම කර පවුලේ සාකච්ඡාවන් වලට නැඹුරු කර ගැනීම ඉතා වැදගත් වේ. අවම වශයෙන් රාත්‍රී ආහාරය සියල්ලන් එක්ව ගැනීමේදී ඇතිවන ප්‍රියසම්භාෂණ මඟින් පවුලේ සාමය කළමනාකරණය කර ගැනීමට ප්‍රවේශයක් ලබා ගනී. එවගේම එකිනෙකාගේ වැඩකටයුතු අගය කිරීම, නිවසේ බාහිර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මාධ්‍යයට වඩා තම පවුල වටිනා සංකේතයක් බව තම දරුවන්ට පෙන්වා දෙන්න.

සමාජයේ කුඩාම ඒකකය වන පවුල මාධ්‍ය නිසා තවදුරටත් විනාශ කර දැමීමට ඔබ කැමති ද? එසේ නොවන්නට නම් ඉහත සඳහන් කරුණු තම සිහියේ තබාගත යුතුය.