Friday, April 29, 2022

 පාර්ලිමේන්තුට අදට වසර 40ක්.



ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ උත්තරිතර ස්ථානය එනම් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව ස්ථාපිත කොට අදට වසර 40 ක් සපිරෙයි.

ශ්‍රී ලංකාව බටහිර ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වන අතර, ලක්දිව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට 1815 දී පත් වුණි. ඉන් පසු ඔවුන් ලංකාව පාලනය කිරීමට විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා වෙන ලදී. ඒ හරහා ලංකාව තුළ ප්‍රථම වරට ව්‍යවස්ථාදායකය බිහි විය. 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකය රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳුන්වා දෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 දී ඉදි වන්නේ ගාලු මුවදොර ඉදිරියේ භූමි කොටසක ය. මෙහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ Austin Woodeson ය. (වර්තමානයේ මෙය ජනාධිපති ලේකම් කාර්යාලය වේ).

1946 දී බ්‍රිතාන්‍යයන් නැවත ගෙන එන සොල්බරී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායකය ලෙස පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුව ලෙසින් නමි විය. 1948 වසරේ දී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස හිමිවෙන අතර 1972 වසරේ මැයි 22 වන දා ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත් වීමේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව නමින් නම් වුණි.

ඒ වන විට ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය. ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීම අනුමැතිය හිමි විය.1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කිරීම මෙසේ සිදු වුණි.

එවකට පාලන බලයේ සිටි, ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබීය.

මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ජපන් සමාගමකට පවරා ඇති අතර එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා වුයේ, ලෝකප්‍රකට ජෙෆ්රි බාවා මහතා ය. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් මුල් කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහ නිර්මාණ ශිල්පයන් සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ. පාර්ලිමේන්තු ඉදි කිරීම් වැඩ නිම වී 1982 අප්‍රේල් මාසයේ 29 වන දින එය, උත්සවකාරයෙන් විවෘත කරනු ලැබීය.

මෙහි විශේෂත්වය වන්නේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත් වීමයි.

පාර්ලිමේන්තුව අලංකාරවත්ව ගොඩනැගී ඇති අයුරු පෙන්වා දුන්නොත්, පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නා වෘක්ෂයන්ගෙන් සපිරි මාර්ගයක් පසු කළ යුතු අතර ගොඩනැගිල්ල තුළට පිවිසීමට පෙර නිල්මහනෙල්වලින් පිරි පාර්ලිමේන්තු පොකුණක් ද, සභා ගර්භයට පිවිසීමේ ආලින්දයක් ද, සභා ගර්භයට පිවිසීමට ප්‍රථම මෙහිදී මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් ද, සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර ඇති බව ද දක්නට ලැබේ. 

තව ද පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරල වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකි අතර සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.

Thursday, April 7, 2022

 

විශ්රාමික පෙම්වතිය පිළිබඳ  විචාරාත්මක ඇසින්


"නවකතාව ගඟක් නම් කෙටිකතාව ඉන් ගත් දිය දෝතක් වැනිය. නවකතාව වනාන්තරයක් වූ විට කෙටිකතාව එහි පුරෝහනය වන බීජයකි. එය වඩා සමාන  මූලද්‍රව්‍යයකට නොව එහි තැනුම් ඒකකය වන පරමාණුවටයි. එහි විශ්වයේ රහස් සැඟවී තිබේ." මෙය ප්‍රකාශය කළේ බෙන් ඔකර් විසින් 1922 දී ය. ඇත්තේම කෙටිකතාව නවකතාව නම් වූ ගගේ දිය දෝතක් වැනිය. මෙකී උපමාව ඇසුරින් කෙටිකතාව කුමක්ද යන්න සාක්ෂාත් කරගත හැකිය. නමුත් ඇන්ටන් චෙකොෆ් කෙටි කතාව යන්න දැක්වූයේ මෙසේය. "කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් විවරණය කිරීමක්" ලෙසය. මෙකී අදහස විමසන කල කෙටි කතාවක් ලෙස සරලව විග්‍රහයක් ගෙනහැර දැක් වුවහොත් එය මෙසේ පෙන්විය හැකිය. කෙටිකතාව යනු මූලික අදහස් ඉදිරිපත් වන සේ අත්දැකීම් හා බැඳුණු සංසිද්ධියක ඉස්මතු කරන සාපේක්ෂව  කෙටි කාල වේලාවක් තුළ කියවා නිම කළ හැකි කෙටි ගද්‍ය කලා නිර්මාණයකි යන්න ගෙනහැර දැක්විය හැකිය.

 

සාහිත්‍යය යන පදය ලෝකයේ මුල් බැසගත් වචනයකි. වර්තමානයේ තාක්ෂණික ලෝකය හමුවේ සාහිත්‍යය දුරස්ව ගියද අප අවට ඇති ලෝකය, සමාජය, පුද්ගලයන්, හැසිරීම්, කලාකෘතීන් විග්‍රහ කර ගැනීමට සාහිත්‍යයේ සේවය අතිමහත්ය. ඒ අතර කෙටිකතාකරුවෝ තම පෑන මනා ලෙස හසුරුවමින් සමාජය, ජීවිතය, මනුෂ්‍යයා, මිනිස් ක්‍රියාකාරකම් ගැන දෘෂ්ටිවාදීව පාඨකයා හමුවට ගෙන ඒ. ලෝකයේ කෙටිකතාකරුවෝ බොහෝ ඇත. ඒ වගේම ලංකාවේද කෙටිකතාකරුවෝ බොහෝ ඇත. මෙකී කෙටිකතාකරුවන් අතරින් නූතන ලාංකීය  සිංහල සාහිත්‍යයේ වත්මන් අත්විතීය සලකුණක් ලෙස එරික් ඉලයප්පාරච්චි ඉහලට ඔසවා තැබිය හැකිය. 1954 දෙසැම්බර් 16 වන දින මීගමුවේ උපත ලද එරික් ඉලයප්පාරච්චි කෙටිකතාකරුවෙකි. කවියෙකි. නවකතාකරුවෙකි. සිනමා විචාරකයෙකි. එරික් තරුණ කවියකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ 1976 වර්ෂයේ "මැදියමේ ගීතය" කවි සංග්‍රහය පළ කිරීමෙනි. මීට අමතරව එරික් තම පෑන හසුරුවමින් ඔගන්දර, විතණ්ඩ සමය, ආදරයේ සිමෙන්ති, විතණ්ඩ සමය, රතුපලස, පේත, පාද යාත්‍රා, පරදේසි යන නවකතා ද මගේ කොළඹට සඳ පායයි, පියස්සක් නැති පරවියෙක්, පිත්තල හන්දිය, ආලින්දය වැනි කවි සංග්‍රහයන්ද චිත්‍ර කලාව හා විචාර කෘතිය සම්පාදනය කරමින් 1995දී කලා විචාර ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙන් චිත්‍ර කලා සියපත, විචාර පත්‍රිකා ද ප්‍රේමසිරි කේමදාස චරිතප්‍රදානයක් ද ඔහු අතින් විශාල කෘති රාශියක් නිම කොට දායාද කර ඇත. එරික් ඉලයප්පාරච්චි අප මුහුණ දෙන ගැඹුරු සමාජය, දේශපාලනික ප්‍රශ්න පාඨක අවධානයට ලක් කිරීම ඔහුගේ ප්‍රධාන පරමාර්ථයයි.

 

මෙකී කලා නිර්මාණයන් අතර එරික් ඉලයප්පාරච්චිගේ නවතම කෙටිකතා වන "විශ්‍රාමික පෙම්වතිය" 2020 හොඳම කෙටිකතාව බවට පාත්‍ර විය. මෙම කෙටිකතාව පිටු 160 කින් යුක්ත වන කෙටිකතා 15කින් සමන්විත විය. එරික් මෙකී විශ්‍රාමික පෙම්වතිය කෙටිකතාව තුළින් අප මුණ දෙන පීඩාකාරී සමාජය, සමකාලීන සමාජ ප්‍රශ්න, මනුෂ්‍යයාගේ මනෝභාවයන් ගොන්නක් අද්විතීය ලෙස පාඨක හමුවට ගෙන ඇත. එහි එන එක් කෙටිකතාවක් වන්නේ "කමලනාත් නම් වහලා" කෙටි කතාවයි. මෙහිදී ඔහු සාකච්ඡාවට බඳුන් කරන ප්‍රධාන කරුණ වන්නේ ඉන්දියාවේ සිට පැමිණි තරුණයකු කිසියම් කර්මාන්තයක සේවය කරන අතර ඔහු ඒ වෙනුවෙන් ඉන්දියාවට කිසියම් මුදලක් මාසිකව ගෙවන ජීවිත කතිකාවයි. ඇත්තෙන්ම මෙයින් එරික් සාකච්ඡා කොට ඇත්තේ වහල්භාවයයි. මෙය සමකාලීන සමාජ කතා වතකි. ඊට සමාන තවත් කෙටි කතාවක් වන "කුණු කාරයෝ" මගින් ගෙන එන්නේ කසල ඇදීමේ රැකියාවක් කරන පිරිසක් ගැන හා ඔවුන්ගේ දින චර්යාව වටා ගෙතුණු කතාවකි. "යකඩ බාල්දිය" තවත් එක් සමාජ කතිකාවක් නිරූපණය කරන කතා වස්තුවකි. එනම් ගැහැනියක් ගැන කතා කරන අතර කාන්තා වීරත්වය කසල ශෝධන රැකියාවක් අලලා මනා ලෙස ඉස්මතු කර දක්වයි. මෙහි එන අනෙක් කතාව සමාජයේ ඔබටත් මටත් අත්වීදීමට හැකි වස්තු විෂයයක් පාදක කරගත් විශ්‍රාමික පෙම්වතිය කෙටි කතා සංග්‍රහයේ එන අනු කෙටිකතාව විශ්‍රාමික පෙම්වතියයි. එරික් ඉලයප්පාරච්චි විශ්‍රාමික පෙම්වතිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ සරසවි ප්‍රේමයක් වටා ගෙතුණු රසවත්, ආදරණීය හා ශෝකාන්ත ප්‍රේම පුවතකි.

 

"අවසානයේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න" යන ගීත පද කොටස මට මුලින් ම පෙන්වා දෙන්න සිතෙන්නේ මෙය කියවන ඔබට විශ්‍රාමික පෙම්වතිය ගැන කෙටි අදහසක් ගෙන දීමට ය. මෙම කෙටි කතාවේ ප්‍රධාන චරිත තුනක් නිරූපණය කරයි. කමලා, ජේ.ජේ නැතහොත් ජයමුනි ජයතිස්ස සහ මෙහි තුන්වන පාර්ශවය වන කථකයා ය. මෙම කතාව පාඨකයා හමුවට ගෙන ඇත්තේ පාඨකයා අත් දුටු සිද්ධියක් ඇසුරිනි. මෙයට හෝ පුරුෂ දෘෂ්ටි කෝණය කේන්ද්‍ර කොට ගෙන ඇත. විශ්‍රාමික පෙම්වතිය මගින් එරික් ගම්‍ය කරන වස්තු විෂය වන්නේ පේරාදෙණිය සරසවි භූමිය තුළ ගොඩනැඟෙන කමලාගේ සහ විජයගේ ආදර කතාවයි. ඔවුන්ගේ ආදර කතාව දළු ලා වර්ධනය වන අතර සරසවි බිමෙහි කාගේත් අවධානයට ලක් වූවකි. කථකයා පවසන ආකාරයට ජේ.ජේ. හා කමලාගේ ආදරය පිවිතුරු එකක් වන අතර ජේ.ජේ. කමලාගේ පිවිතුරු ආදරය හැර තවත් අනියම් ප්‍රේම සබඳතා පවතින බව පෙන්වයි. ජේ.ජේගේ මෙම නොමනා ක්‍රියාවන් ද ඊට පසුව ජේ.ජේ තමන්ට එක සිතින් පෙම් කරන කමලාගේ ආදරය පසෙකට ලා ධනවත් වංශවත් කාන්තාවක් සමඟ යුගදිවියට එළඹේ. කම්මලට දුන් වේදනාවට ජේ ඒවායේ විපාක විඳින බව ද කයින්  ඔහුගෙන් වෙන් වුව ද සිතින් ඔහුව තවමත් වැළඳගෙන සිටින බව ද කතාව අවසානයේ කථකයා එය මේ ආකාරයට පෙන්වා දේ.

 " ඇයද පැමිණෙන්නේ ඔහුට ඇය දැක ගැනීමට ඉඩ දීමේ අදහසින් බව සිතිම මගේ සිත සසල කළේය."

 

ප්‍රේමය වූ කලී නිර්මල දෙයක් විය යුතුය. එය දෙදෙනා අතර ඇතිවන හදවතින්ම ගොඩනැගෙන පිවිතුරු එකකි. ලෝකයේ සෑම ආදර කතාවක්ම ආදරවන්තිය හා ආදරවන්තයා එක් වන්නේ නැත. හැම දෙනාටම ප්‍රථම ආදරේ දිනාගත නොහැකිය. සමහර අයගේ අවසාන ප්‍රේමය ද ජීවිත කාලය පුරා ට රැඳී පැවතුණු ඇත. ඉතින් විශ්‍රාමික පෙම්වතියේ එන ජේ.ජේගේ හා කමලාගේ ආදරය ද එක් වූයේ නැත. ඒ ආදරය විතැන් වූව ද  කමලා තවමත් ජේ.ජේගේ ආදරවන්තිය ලෙස එදා කාගිල්ස් සාප්පුවේ මුණගැසුනු මොහොතේ දී දුටුවේය.

 "මැදි විය පසු කොට වසර ගණනක් ගෙවී ඇතත් ඇය තවමත් ජේ.ජේගේ පෙම්වතිය වැනිය."

කථකයාගේ පරමාර්ථය වී ඇත්තේ මෙයයි. ඒ පරමාර්ථය පාඨකයා හමුවට රැගෙන යාමේදී කොතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න මීළගට සාකච්ඡා කිරීම වැදගත් වේ. භාෂාව වූ කලී කෘතියකට හෝ ඕනෑම කලා නිර්මාණයකට අවශ්‍ය ප්‍රධාන අංගයයි. තේමාවට ගැළපෙන ලෙස විවිධ භාෂා විලාස හා රචනා රීති යොදා ගැනිම, ප්‍රාදේශීය ව්‍යවහාර, වාග් විලාසය යන ආදිය කලා නිර්මාණයකට වැදගත් වේ. මේ අතරින් එරික් ඉලයප්පාරච්චි සරල බස් වහරක් මෙම නිර්මාණයට යොදා ගෙන ඇත.

"හාත්පස මිහිදුම නිසා විදුලි පහන් ආලෝකය යන්තමින් දිලිසෙන තෙත සුදු කඩදාසි ගිළි බවට පත්වී තිබුණි."

මෙයට යොදාගත් භාෂාව පාඨක ඔබටද කියූ විට වටහා ගත හැකිය. ඒ වගේම මෙතුමාගේ එක් භාෂා විලාසයක් වන්නේ මේ සරල බස් වහර ඇතුලට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ කිරීමයි. ඒ එරික්ගේ කලාවක් බව මම මීට පෙර ඔහුගේ ලිපි කියවූ විට මට පසක් විය. "කාගිල්ස්, හස්බන්ඩ් පේරාදෙණි ලව්, සෙක්ස්, රේස් බුකි, කාර් පාක්, සෙන්ට්‍රල්, ස්කූල්" යන ඉංග්‍රීසි වචන තම කෘතියට ඇතළත් කර ඉංග්‍රීසි මුසු වූ භාෂාවක් මෙයට යොදාගෙන ඇති බව තහවුරු වේ. ඒ වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් වන්නේ රචනා රීතිය යි. මේ රචනා රීති ද තම කතා සන්දර්භය ඇතුළට මැනවින් ගොනු කර ඇත.

"මම ඇය පසුපසින් ඇයගේ කාරය වෙත ගියෙමි." "අපි සාප්පුවෙන් එළියට පැමිණියෙමු."

 

මේ ආකාරයට රචකයා සරල බස් වහරක් යොදා ගත්තද මේ බස් වහර ඇතුළත ශබ්දාලංකාරය ගැබ්වී ඇත. එනම් උපමා, රූපක, සංකේත යනාදිය යොදාගැනීමෙන් සරල බස් වහර තවත් තීව්‍ර වන අතර කතා වස්තු විෂය රසවත් අන්දමින් මෙය කියවන පාඨකයාට ලබා දී ඇත. ජේ.ජේගේ හා කමලාගේ ප්‍රේමයේ පිවිතුරු බව, ආදරය බව පෙන්වීම කතුවරයා කෘතිය පුරාවටම සංකේත, උපමා යොදා ගනිමින් ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමාන්විත එකක් බවට පාඨකයා හමුවට ගෙන ඇත.

 

"එක අත්තෙ වසන ලද කුරුලු ජෝඩුවක් මෙනි" ඉහත උපමාව මගින් පැහැදිලි කර ඇත්තේ මොවුන් දෙදෙනාගේ ප්‍රේමය නිරූපණය කිරීමයි. කුරුලු ලෝකය සුන්දර ලෝකයක් බව ඔබත් මමත් අසා ඇති කරුණකි. කුරුලු ලෝකයේ කුරුලු ජෝඩුන්ගේ ආදරය, හැසිරීම අප කවුරුත් දැක ඇත. ඒ සඳහා කවි පන්ති ද බොහෝ ලියැවී ඇත. කුරුලු ජෝඩුවක් මෙන් සඳහන් කිරීමෙන් ජේ.ජේ හා කමලා අතර ඇති ආදරය ප්‍රේමණීය එකක් බව පාඨකයාට දැන වීමට කතුවරයා යොදා ගත් කදිම උපමාවකි.

" තලාතු මිනිරන් සේ බබළන ගල මත"

මෙකී උපමාවෙන් ද ඔවුන්ගේ ආදරය පෙන්වයි. මිනිරන් අප කවුරුත් අසා ඇති පරිදි දිලිසෙන, දීප්තිමත් දෙයකි. ගල මත වාඩිවී සිටින කමලා හා ජේ.ජේ කථකයාට පෙනුනේ බබළන මිනිරන් සේය. කතුවරයා ඔවුන්ගේ ආදරය නිරූපණය කිරීමට ගත් උත්සාහය මා සිතන පරිදි සාර්ථක වී ඇත.

"ගල් දෙකක් අතර වැඩෙන පඳුරක් ලෙසිනි."

" මඩෙන් බියෙන් උපත ලද නෙළුම් මලක් ලෙසිනි"

සංකේත භාවිතය ද කලා නිර්මාණයකට අතිශය වැදගත් දෙයකි. කතුවරයාට එක සේ කිව නොහැකි දේවල් පදපේලි ගණනට ගොනුව කළ නොහැකි දේවල් එක් සංකේතයක් මගින් පාඨකයාට තවත් සිතිමට ඉඩ හරී. වසර ගණනාවකින් කථකයාට කමලාව කාගිල්ස් සාප්පුවේ දී මුණගැසේ. එදා සරසවි බිමේ දි දුටු කමලා අද වයසට ගොස් ඇති බව පෙන්වීමට "ඇය උපැස් යුවළක් පැලඳ සිටියාය" යොදා ඇත. මෙකී සංකේතය මගින් පාඨකයාට තවත් සිතන්නට ඉඩ ලබා දී ඇත. කාගිල්ස් සාප්පුවට කථකයා පැමිණියේ අගුරු උරයක් මිලදී ගැනීමටය. එදා කමලා හමුවිය. කථකයා සප්පුවෙන් එළියට පැමිණි මොහොතේ දී ඇයගේ නික්මයාම පසුව යාචකයෙකු මෙන් ජේ.ජේව කථකයාට හමුවේ. එහිදී ජේ.ජේ කථකයාගේ අතේ තිබූ අඟුරු පාර්සලය ඉල්ලා ගත්තේය.  "අඟුරු පාර්සලය" මගින් ජේ.ජේගේ අතීත මතක සටහන් ගැබ් වී ඇති බව සංකේතවත් කරයි. එසේ නම් කාගිල්ස් සාප්පුවේදී කථකයා හා කමලා කතාබස් කළ බව ජේ.ජේට පෙනෙන්නට ඇත. එම අඟුරු පාර්සලය ඉල්ලන්න්ට ඇත්තේ මතක සටහනකට බවත් ඔවුන්ගේ පැරණි ආදරයේ මතකයන් බව මින් ගම්‍ය වේ.

"සාම්ප්‍රදායික ගනුදෙනුකාර සිනහවක් පෑවේ" "මියගිය කෙනෙකු හඳුනා ගැනීම සඳහා ඒ තැනැත්තාගේ සිරුර වැසූ රෙදි කඩ යන්තම්.."

 මේ සංකේතය යොදාගෙන ඇත්තේ කථකයාව කාගිල්ස් සාප්පුවේදී කමලාට එකවර හඳුනා ගත නොහැකි වූ අවස්ථාවේ දී ය. "පරණ තාලේ මෝටර් රථයකි" මෙමගින්ද සංකේතවත් කරන්නේ තවමත් ඇය ජේ.ජේගේ පරණ පෙම්වතිය බවයි. වයසට ගියද ඇයව කාරය හරහා කතුවරයා පෙන්වීමට උත්සාහ ගෙන ඇත්තේ තවමත් ජේ.ජේ වෙනුවෙන් පෙනී සිටින බවයි.

 "මුහුණ සුදු රැවුලකින් වැසී තිබුණු අතර තම දෙපා යට වූ මහපොළොව එහා මෙහා තල්ලු කරන ලෙසින් දෙපා නිරන්තරයෙන් එහා මෙහා කළේය."

 කතුවරයා මෙහි සංකේතවත් කොට ඇත්තේ ඔහු එනම් ජේ.ජේ දැන් ජීවිතය සමඟ සටන්වදින බවයි.

 "අතින් ගෙන යා හැකි තරමේ බඩුවක් දෙකක් ට්‍රොලියේ දමා"

මෙය කථකයා දකින්නේ කාගිල්ස් සාප්පුවේදීය. එනම් කමලා එතරම්ම අත්‍යවශ්‍ය බඩු නොගැනීමට කාගිල්ස් සාප්පුවට පැමිණ ඇති බවත් එහි කුමක් හෝ යටි අර්ථයක් සැඟවී ඇති බව කථකයා ද පවසයි. එදාම කාගිල්ස් සාප්පුවෙන් එලියට පැමිණි විට කථකයාට යාචකයකු මෙන් ජේ.ජේ හමුවේ. ඔහු කථකයාගෙන් ඉල්ලුවේ අඟුරු පාර්සලය යි. එසේනම් කමලා සාප්පුවට පැමිණි ඇත්තේ ජේ.ජේව බලන්නද යන්න ඔබට ද මට ද කතුවරයා එකී සංකේතයෙන් කුතුහලයට පත් කරයි.

මෙහි දී කතුවරයා ඔවුන්ගේ ආදරය නිරූපණය කිරීමට, වයසට ගියද ඇයගේ ආදරේ නිරූපණය කිරීමට යොදාගත් අලංකාර, සංකේත කතා සන්දර්භය උචිතම තැන් වලට යොදා ගනිමින් පාඨකයාට රසවත් කෘතියක් ලෙස ගෙනහැර දක්වා ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "නිධානය" චිත්‍රපටය තුළ ද සංකේත බහුලව දැක ගත හැකිය. විලීගේ නිදන ඇඳුම් පිටුපස ඇත්තේ මකරෙකුගේ රූපයෙකි. එමගින් විලි ගැන සංකේතානුසාරයෙන් එඅය නරඹන්නන්ට ඔහුගේ චරිතය කෙබඳුදැයි නිරූපණය කර ඇත.

ඒ වගේම එරික් ඉලයප්පාරච්චි එක් එක් රසවාදයන් මේ කලා නිර්මාණයට යොදා ගෙන ඇත. මෙම කතාව කියූ විට මට දැනුනේ මෙහි කරුණා රසය ගැබ් වී ඇති බවයි. තවමත් ජේ.ජේව බලාපොරොත්තුවෙන් සිටින ඇය ගැන කරුණා රසයක් කතුවරයා උද්දීපනය කර ඇත. ඒ වගේම "

සුදු ඉරි වැටුණු ලොම් පැකට්ටුවකින් වසාගෙන සිටි තම ලැමද තවමත් ජේ.ජේ වෙනුවෙන් කැපවී"

 එකී පාඨය තුළින් මට හැඟෙන පරිදි කතුවරයා සියුම් ශෘංගාර රසයක් මතු කර දැක්වීමට උත්සාහ ගෙන ඇත.

කෙටිකතා නිර්මාණයක දී වඩාත් ප්‍රබලව අවධානය යොමු කරන්නේ චරිත නිරූපණය කෙරෙහිය. මෙම චරිත බාහිරවත්, අධ්‍යාත්මක ව මෙන්ම මානසිකවත්, සමාජ ජීවිතයේ දී විවිධ ධර්මතා වලට මුණ දෙන චරිත විය යුතුය. පාඨකයාට කලා නිර්මාණයක එන චරිත ඔවුන් මනස තුළට මුල්බැස ගන්වන්නටනම් කලා කෘතියේ එන චරිත නිරූපණය කරන ආකාරය මැනවින් වැදගත් කොට සලකයි. එරික් ඉලයප්පාරච්චි විශ්‍රාමික පෙම්වතියේ එන කමලාගේ, ජේ.ජේගේ හා කථකයාගේ චරිතයන් පාඨකයා හමුවට ගෙන ඇති ආකාරය මීළඟට සාකච්ඡාවට බඳුන් කළ හැකිය. ජේජේගේ හා කමලාගේ බාහිර පෙනුම ගැන විග්‍රහ කර පෙන්වන්නේ මේ අයුරිනි.

"ඇය තලවකැලේ පැත්තෙත් තද මීදුම, දිය ඇලි හා කඳුකර මායිම් මූවට්ටි සහිත පරිපූර්ණ තේ වැවිලි සහිත කඳුකරයෙහි ශීතල දේශගුණය මැද ඇති දැඩි වූ සුන්දරියකි."

"ඔහු හිරු රැසින් ගිනියම් කරන ලද වව්නියා සිංහල කොට්ඨාසයේ ඇති තරම් ඉඩ කඩ ඇති ගොවිජනපද මූල සහිත නිතර නුරුස්සන සුළු අපේක්ෂා සහිත පවුල් පසුබිමක් ඇත්තෙකි."

කථකයා මොවුන් දෙදෙනාව ඔවුන් ජීවත් වූ ප්‍රදේශය අනුව ඔවුන්ගේ බාහිර පෙනුම නිරූපණය කර ඇත. ඒ කථකයා අත්දුටු දෙයක් ආකාරයටය.කථකයා ආදරයේ දී කමලාගේ චරිත ස්වභාවය ගැන දැක්වූයේ හරි අපූරුවටය. කමලා ආදරේ දී ජේජේට එක සිතින් ආදරය කළේය. ඇයට අන් කවරෙකුටත් වඩා ඔහුව වටිනා බවත් ඇය ඔහු වෙනුවෙන්ම කැපවී සිටින ආදරවන්තියක් බවත් කථකයා අපට පවසයි. "

ඇය පෙම්වතියක් ලෙස කිසියම් අපූර්ව ප්‍රීතියක් ඔහුගෙන් බලාපොරොත්තු වන්නීය."

 ඇය ජේජේගෙන් පැතුවේ ආදරය පමණි. සරසවි බිමෙහි කාගෙත් ඇස ගැටුණු ආදර කතාවක් වන අතර ඇය ප්‍රේමවන්තියකගේ භූමිකාව පිවිතුරු ප්‍රේමවන්තියකගේ චරිතය රඟ දැක්වීය. ඇයගේ ප්‍රේමය නිර්මලය. ජේජේගේ හා කමලාගේ ආදර සම්බන්ධය අතරමග නැවතී ජේජේ වෙනත් විවාහයක් කරගත් පසු ඔහු පිරිසකගෙන් පහර දීමකට ලක් විය. පහර කෑ ජේජේව බලන්නට ඇය රෝහලට ද ගියාය. තමා අතහැර දමා ධනවත් කාන්තාවක් හා ජේජේ සරණ ගිය ද ඇය තවමත් ජේජේගේ පෙම්වතිය සේ දැනුණි. එය කතුවරයා මනා සේ නිරූපණය කර ඇත.

 "එය පුරාණ පෙම්වතියක රහසේ තම කුමාර සැමියා බලන්නට බලකොටු සිරගෙයට යන ගමනක් වැනිය."

 කමලා විශ්‍රාම සුවයෙන් පසු වුනත් ඇයට ඔහුව ලබාගත නොහැකි වුණත් සියළු යථාර්ථයන්ට මුණ දී සිටින ඇය කථකයා එදා කාගිල්ස් සාප්පුවේ දුටු විට ඔහුට හැඟුණේ තවමත් සරසවි බිමෙහි සිටිය කමලා ලෙසිනි.එමගින් ඔහු අරුත් ගැන්වූයේ තවමත් කමලාගේ යට සිතෙහි ජේජේ වෙනුවෙන් ආදරයක් ඇති බවයි. "පරණ තාලේ මෝටර් රථයකි"තවමත් ඇයගේ හිත තුළ පරණ අදහස් පවතින බව සංකේතවත් කරයි. "මැදි විය පසු කොට වසර ගණනක් ගෙවී ඇතත් ඇය තවමත් ජේජේගේ පෙම්වතිය වැනිය."

ජේජේගේ සම්බන්ධයෙන් පසුව ඇය ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත. "එතකොට මම නුගවෙල සෙන්ට්‍රල් ස්කූල් එකේ උගන්වන කාලේ" ඇය විවාහක කාන්තාවකි. "මම කසාද බැන්දායින් පස්සේ" යන්න මගින් එය තහවුරු කරගත හැකිය. කමලා  වැනි චරිතයන් අද වර්තමාන සමාජයේ ද අපට අතර ජීවත් වේ.කතුවරයා පාඨකයාගේ මනෝභාවය ආක්‍රමණය කොට කමලා ගැන කරුණා රසයක් ඇති කිරීමට දක්ෂ වී ඇත.

ජේජේ නැතහොත් ජයමුනි ජයතිස්ස කමලාගේ ප්‍රේමවන්තයා විය. ඇය එක සිතින් පෙම් කළ තරුණයා ජේජේ ය. ජේජේ ද ඇයට ආදරය කළා ද යන්න ප්‍රශ්නයක් මතුවේ. ඊට හේතුව වන්නේ ඔහුට කමලාගේ ආදරය හැර තවත් අනියම් සබඳතාවන් කිහිපයක් පැවතුණු නිසාවෙනි.

"ඔහු කල්පනාවෙන් හා කිසියම් ශික්ෂණයකින් යුතුව ජීවිතයේ හැඟුනු සංකීර්ණතා සොයා යන්නෙක් හා සරසවි දිවිය එක් යුවතියකට පමණක් පාවා නොදිය යුතු බව සිතන්නෙකි."

බස්වල යන අතරමගදී පේරාදෙනණිය මල්වත්තේ හඳුනා ගන්නා කාන්තාවන් සමග ද පොලිස් කාන්තාවක් සමග හා හෙදියක් සමගද එකවර සබඳතා ඇතිකර ගත්තෙකු බව කථකයා පවසයි. ඇත්තෙන්ම මිහු ස්ත්‍රී ධූර්තයකි. කාන්තා ලෝලියෙකි. තවත් ආකාරයට පැවසූවොත් එක් ගැහැණියකින් පමණක් සෑහීමකට පත් නොවිය හැකි රාගික තැනැත්තෙකි.

"තම සරසවි ප්‍රේමයෙහි නොගෑවෙන පරිදි සරසවියෙන් බාහිර අනියම් සබඳතා ඇතිකර ගන්නට රිසි වන්නෙකි"

මෙය කෘතිය කියවන පාඨකයෙකු වශයෙන් ජේජේ කෙරෙහි මා තුළ ජුගුප්සාජනක හැඟීමක් මගේ මනෝභාවයන් තුළ ගොඩනැගුණි. කතුවරයා දක්ෂ ලෙස ජේජේගේ චරිතය පාඨක හමුවට රැගෙන ගොස් ඇත. ජේජේ වංශවත් ධනවත් කාන්තාවක් සමඟ විවාහ වන්නේ තමන්ට පිවිතුරු පවිත්‍ර ලෙස ආදරය කළ කමලාගේ ආදරයට පයින් ගසා ය. නමුත් ඇයට එසේ කර ඔහුට අත්වූ ඉරණම කතුවරයා දිට්ඨධම්මවේදනීය කර්මය හොඳින් විශ්වාස කරන තැනැත්තෙකු බවට පසක් වන අතර ජේජේටද මේ ජීවිතය ගෙවා දමන්නට පෙරාතුව තමන් කළ කර්මයන්හි විපාක ලබන්නට අත්විය. "සැරයටියක් අතින් ගත් නමුදු යාචකයෙකු නොවන පුද්ගලයෙකි"

"වැළඳී තිබුණු කිසියම් රෝගයක් නිසා ඔහුට තම කටහඬ නැති වී තිබුණි".

එදා කමලාගේ ආදරය පසෙකලා ගිය ජේජේ යළිත් කමලාගේ ආදරය අවශ්‍ය වූ මොහොතේ දී පැමිණෙන විට ඇය විවාහයට පත් වී අවසන්ය.

"මම කසාද බැන්දයින් පස්සේ එයා ආපහු මාව හොයාගෙන ඇවිත් කරදර කරන්න පටන් ගත්තා".

ඔහුට අත් විය යුතු ඉරණම කතුවරයා දිට්ඨධම්මවේදනීය කර්මය අලලා පාඨකයාගේ මනෝභාවයන්ට කතා කර ඇත.

විශ්‍රාමික පෙම්වතියේ එන අනෙක් චරිතය හෙවත් තුන්වැනි පාර්ශවය වන්නේ කථකයා ය. මෙම කතා සන්දර්භය ඇතුළත කථකයා ගැන කිසිදු පෞද්ගලික තොරතුරක් සඳහන් කර නොමැත. කමලාගේ හා ජේජේගේ ආදර කතාව සහෘද හදවත් තුළට රැගෙන එන වාහකය වන්නේ කථකයාය. සරසවි බිම තුළ ඔහු අත්දුටු දෙයක් වශයෙන්ම ඔවුන් දෙදෙනාගේ පෙම් සුවඳ ගැන සුවඳවත් කරන අතර මෙහි කථකයා ගැන සැඟවුණු යටි අරුතක් හෙවත් යටි සිතෙහි සැගවුණු හැගීමක් සක්මන් කරන බව කතාව කියවන යම් යම් තැන්වලදී පසක් වේ. විශ්‍රාමික පෙම්වතිය කතාව තුළ කමලා හා  ජේජේ ගැන හැම තොරතුරක්ම දන්නේ ඒ වගේම කමලාගේ හැඟීම්, ඉරියව් මනා ලෙස පවසන්නේ කථකයා ය. එනම් එමගින් ගම්‍ය වන්නේ ඔහු කමලා දෙස වුවමනාවෙන් නෙත් යොමා ඇති බවයි. වරෙක කථකයා මෙසේද පවසයි.

"ඔහු හිටිහැටියේ වෙනස් වන පරස්පර ගති ගුණවලින් යුතු නිසා ඇයට නිතර කිසියම් ආතතියකින් යුතුව කල් ගෙවන්නට සිදු විය".

කමලාගේ ආතතිය ගෙන ඔහු හොඳයාකාරව පවසන්නේ කෙසේද? මේ ගැන යම් කිසි ගැටලුවක් මතුවේ. එයින් ප්‍රකාශ වන්නේ ජේජේ හා කමලා ආදරය කළද කමලා දෙස විශේෂ අවධානයකට ලක් කර ඇති බව මෙයින් තහවුරු වේ. ඒ වගේම

"නුවරඑළිය ඇගේ ගමන සමඟ මා වෙතින් දුරස් වී යන්නා සේ මට හැඟුණි".

මෙමගින් යම් දෙයක් සංකේතානුසාරයෙන් කථකයා පවසයි. කථකය සෘජුවම නොපැවසුව ද වක්‍රාකාරයෙන් යම් දෙයක් පවසන්නට උත්සාහ ගෙන ඇත. මේ පොත කියවන අතරතුරේ දී යම් තැනක මගේ සිත දෝලනයකට ලක් විය. එනම් කථකයා කතාව ආරම්භයේ දී මෙසේ ප්‍රකාශ කර ඇත.

"ඇය මගේ පැරණි පෙම්වතියක නොවූවත ඇය හා ජේජේ අතර.."

ඇය මගේ පැරණි පෙම්වතියක නොවූවත් යන්න මගින් සංකේතානුසාරයෙන් කුමක් ද මේ ප්‍රකාශ කර ඇත්තේ? මගේ සිතට නම් හැඟෙන්නේ කථකයා කමලාට යටි සිතින් ආදරය කළ බවයි. පැරණි පෙම්වතියක නොවූවත් මගින් ජේජේගේ හා කමලාගේ ආදර සබඳතාවය තිබුණ ද කථකයා කමලා ගැන යටි සිතේ තිබෙන අදහස අතනොහැර සිටි ඇති බවත් එසේ අදහස අතහැරියේ නම් පැරණි පෙම්වතිය ලෙස සඳහන් කිරීමට ඉඩ තිබුණි. නමුත් කථකයා එය එසේ සඳහන් කර නොමැති වන අතර එයින් ඔහු පෙන්වා දීමට උත්සාහ ගෙන ඇත්තේ ඔහුගේ හිතේ ඇති ආලය වෙනස් නොවන එකක් බවයි. මෙහි එන පරිදි කථකයා විවාහ වී ඇති කියාවත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සඳහන් නොකර ඇති නිසා කථකයා ඇයගේ ආදරය වෙනුවෙන් පෙනී සිටියා ද යන්න මට හැඟේ.

"මට සිතුනේ මියගිය කෙනෙකු හඳුනා ගැනීම සඳහා ඒ තැනැත්තාගේ සිරුර වැසූ රෙදි කඩ යන්තම් ඔසවා ඔහුගේ මුහුණ පෙන්වන බවකි".

එදා කාගිල්ස් සාප්පුවේදී වසර ගණනාවකට පසු කථකයා හා කමලා මුණගැසේ. එවිට කමලාට කථකයා හඳුනා ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී කථකයා මෙසේ සිතයි. කථකයගේ හිතේ යටි ආලයක් ඇය වෙනුවෙන් නොමැතිනම් ඔහුට එසේ සිතෙන්නට නොවිය හැකිය. නමුත් තවමත් කථකයාගේ හිත ඇයට ආලය කරන බැවින් "මියගිය කෙනෙකු හඳුනා ගැනීම" යන්න මගින් තව තවත් පසක් කරගත හැකිය. කෙටිකතාවක එක් ලක්ෂණයක් වන්නේ කෙනෙකුගේ යටි හිතේ සැඟවුණු හැඟීමක් හෙළි කරන එක් විවරණයක් ලෙසය. මෙකී ලක්ෂණය සහෘද හදවත් හමුවට එරික් ඉලයප්පාරච්චි කථකයාගේ ඇවෑමෙන් සාර්ථකව කරගෙන ඇත.

කෙටි කතාවක් තුළින් මධ්‍යස්ථ කලාත්මක දෘෂ්ටියකින්, සමාජ පන්ති භේදය, සමාජ විෂමතා ගෙන එය උපහාසයට හා විවේචනයට ලක් කිරීමට කදිම තෝතැන්නක් ලෙස කෙටි කතාව පෙන්වාදිය හැකිය. එරික් ඉලයප්පාරච්චි ද මේ කෙටිකතාව තුළින් සමාජය, සංස්කෘතික ස්වභාවය ඒ වගේම පංති භේදය සාකච්ඡාවට ලක් කිරීමට අමතක කර නොමැත. ඇත්තෙන්ම එරික් ඉලයප්පාරච්චි සමාජ කතිකාවන් සහෘද හදවත් තුළට ගෙන ඒමට කදිම දක්ෂයෙකි. ඔහුගේ "පරදේසි" කෘතිය ද එවැනි සමාජ ප්‍රශ්න සාකච්ඡාවට ලක් කරන අවස්ථාවක් සහිත කෘතියකි. එහිදී ඔහු වස්තු විෂය කොට ගෙන ඇත්තේ ජාතික හා විජාතිකත්වය තුළ සිර වූ ශ්‍රී ලාංකිකයා ගැන සාකච්ඡා කරන ලාංකීය පාඨකයා කියුබාව, හන්ගේරියාව, නෝර්වේ යන රටවල පමණක් නොව සමාජ, දේශපාලන, සාහිත්‍යය හා දර්ශනය වැනි විෂයයන් රාශියක් වෙත අවධානය යොමු කරන කෘතියකි. එරික් විශ්‍රාමික පෙම්වතිය කෙටි කතාව හරහා ධනපති පන්තිය පෙන්වීමට එහි ක්‍රියාකාරිත්වය නිරූපණය කිරීමට උත්සාහ ගෙන ඇත. එරික් එය නිරූපණය කරන්නේ ජේජේගේ බිරිඳ අලලාය. කථකයා ජේජේගේ  බිරිඳ ගැන පෙන්වා දෙන්නේ මේ අයුරිනි.

"තේ වත්තක හා ස්ටෝබෙරි හරිතාගාරයක් සහිත මල් ෆාම් එකක හිමිකාරියක් සමග සම්බන්ධයක් ඇතිකර.."

"ඒ සම්බන්ධයට පසු ඔහුගේ ඇඳුම් පැළඳුම් සාමාන්‍ය මට්ටමේ ඒවා නොව විශේෂ ටේලර්වරුන් විසින් මසන ලද බ්‍රෑන්ඩට ඒවා විය. ඔහු සිය ආදරබර ආර්යාව සමග එහෙ මෙහෙ ගියේ ඇගේ මෝටර් රථයෙනි. නුවරඑළි ටවුමෙන් දකුණු දෙසට මුහුණලා පිහිටි උස් බිම් දෙකක් අතර අශ්ව ඉස්තාලයක් ඇය සතු අතර ඇයද අසුන් පිට යන්නියක් වූවාය."

අශ්ව ඉස්තාලයක් අප සමාජයේ ජීවත්වන හැම මිනිසකුටම සතු කරගත නොහැක්කකි. එසේ කරගත හැකි වන්නේ කුලවත්, ධනවත් පාර්ශවයන්ට හිමිකාරීත්වය ලබාගත හැකිය. ජේජේ විවාහ වූ පසු ඔහුගේ ජීවන රටාව වෙනස් විය. ඊට හේතුව වූයේ ඔහු ධනවත් හිමිකාරියක් සමඟ විවාහ වූ නිසාය. ජේජේගේ ඇඳුම් පැළඳුම් බ්‍රැන්ඩ්ට් ඒවා විය. දුප්පත් අගහිගකම් ඇති මිනිසුන්ට බ්‍රෑන්ඩට් ඇඳුම් ඇඳිය නොහැක. ඒවා ඇඳිය හැක්කේ සල්ලිකාර සමාජයේ පංති වලට ය. කතුවරයා එදා තිබූ වලව්කාර සමාජ පන්ති භේද තත්ත්වය අද සමාජයේත් පවතින බව සෘජුව නොපසවා වක්‍රාකාරයෙන් පවසා ඇත. සමාජ පන්ති භේදය පමණක් නොව වර්තමාන සංස්කෘතිය, සමාජය ගැන විග්‍රහ කිරීම, සමාජයේ පරිවර්තනය යන මේවා සඳහන් නොකළොත් එරික් එය පුදුම සහගත දෙයකි. මක්නිසාද යත් ඔහු තම කෘතීන් වල සමාජ තත්වය, සමකාලීන සමාජ ප්‍රශ්න කතා කිරීම අමතක කරන්නේ නැත. 

"කුඩා පිරිසක් පාරේ පදික වේදිකාවේ බීර බොමින් සිටියහ. ඔවුන් අතර තරුණ කතුන් කිහිපදෙනෙකු සිටින බව ද ඉන් එකියක් සිගරට්ටුවක් උරන බව ද මම දුටිමි."

සමාජයේ බහුතරයක් පිරිමි පාර්ශවය මත්පැන් පානය කරන බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් මහපාරේ පිරිමින් හා එකට එක තරුණ ගැහැණුන්ද සිගරට් බොන්නට තරම් අද සමාජය කෙතරම් පහළ තලයක සිටින්නේද යන්න ඔබටත් මටත් සිටිය හැකි ප්‍රශ්නයකි. කාලයත් සමග සමාජයේ වෙනස්වීම් අපේ සංස්කෘතියට කෙතරම් බලපෑම් කර ඇත් ද?

"අප තවමත් කාර් වල සෙක්ස් කරන තත්වයට පත් වී නැතත් කැන්ගරුවන් ලා ඇදගෙන යනු ලබන දිවියකට එළඹ ඇති බව සහතික ලෙස පසක් විය."

මෙකී පාඨයෙන් කතුවරයා සෘජුවම සමාජයට පහර ගැසීමක් සිදු කර ඇත. කැන්ගරුවන් ලා යන්න මගින් ඔහු සංකේතවත් කළේ පිටරැටියන් ය. එවැනි සංස්කෘතියකට අප පියමං කරන බව ඔහු එයින් කියා සිටින්නේය. නවීන තාක්ෂණය  හමුවේ විශ්ව ගම්මාන සංකල්පය සමග මුළු ලෝකයම එකම ගම්මානයක් බවට පත්වීමෙන් ලෝකයේ රටවල්වල සංස්කෘතිය රටවල් අතර සංසරණය වීමෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය සියල්ලක්ම සමාජයට ගලා ඒ. එය කදිම ලෙස කතුවරයා ඉහත කී පාඨය තුළින් මතු කරන්නට ගත් උත්සාහය සාර්ථක වී ඇත.

කතුවරයා මේ ආකාරයට දක්ෂ ලෙස කෘතිය රචනා කර ඇති අතර යම් තැනකදී අඩුපාඩුවක් දැක ගත හැකිය. එනම් ජේජේට අනියම් සබඳතා කිහිපයක් පැවතුණු බව කථකයා ප්‍රකාශ කරයි. එය සඳහන් කර ඇත්තේ මෙසේය. "පිරිමි අභිමානය දියුණු කළේය" යන්නයි. ඇත්තෙන්ම පිරිමි කෙනෙකු තමන් ආදරය කරන කෙනා හැර තවත් කෙනෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන්නේ නම් එක නිවැරදි ක්‍රියාවක් යන්න ප්‍රශ්නයක් ඇති වේ. ඒක කෙතරම් පහත් ක්‍රියාවක්ද? පිරිමියෙකු කියා ඔහුට වෙනත් අනියම් සබඳතා පවත්වාගෙන යාමට අයිතියක් තිබේද? එසේ වී නම් මේ ආකාරයට ගැහැනුන් කළහොත් සමාජයේ කෙතරම් තත්ත්වයක් ගැහැනුන්ට හිමිවේද? ඇත්තේම වෙනත් අනියම් සබඳතාවක් ගැහැනියෙකු සමග පවත්වාගෙන යාම පිරිමි අභිමානය දියුණු කිරීමක් නොව එය නොසණ්ඩාල ක්‍රියාවක් වශයෙනුයි මම සිතන්නේ. එසේ නම් එරික් ඉලයප්පාරච්චිගේ අඩුපාඩුවක් ලෙස පැවසීමට ඇත්තේ මෙය පමණයි. භාෂා රීති, බස් වහර, ශබ්දාලංකාර, යොදාගත් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, ධ්වනිවාදය, චරිත නිරූපණය, සංකේත, රසවාදය ඒ වගේම යොදාගත් සමාජය දෘෂ්ටිකෝණය යන සෑම එකක්ම පාහේ එරික් තැනට සුදුසු හෙවත් යෝග්‍ය ලෙස යොදාගෙන ඇති බව ඉහත දැක්වූ කරුණු මගින් සනාථ වේ. මා සිතන පරිදි කතුවරයා මෙයට උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා නොගත්තේ නම් කතුවරයාට සහෘදයා වෙතට කෘතිය ගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක වන්නට තිබුණි. ඔහු මෙම දෘෂ්ටි කෝණය අලලා පෑන මනා ලෙස හසුරුවා ඇති බව පෙනේ.

 

කෙටිකතාවක අඩංගු විය යුතු ලක්ෂණ මෙම විශ්‍රාමික පෙම්වතිය කෘතියෙහි උචිත අන්දමින් ගැබ් කර ඇති නිසා ද ඒ වගේම මෙම කතාව අනෙකුත් කෙටිකතා වලින් වෙනස් වන්නේ කථකයාගේ යටි සිතෙහි සැගවුණු හැගීමක් හෙළි කිරීමට ගත් උත්සාහය නිසාද විශ්‍රාමික පෙම්වතිය වෙනස් ආකාරය කෙටි කතාවක් ලෙස අවසන් වශයෙන් දැක්විය හැකිය. දයාසේන ගුණසිංහ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" කෘතිය තුළින් කෙටිකතාව යන්න දක්වා ඇති විග්‍රහය විශ්‍රාමික පෙම්වතියේ වස්තු විෂය හා සංසන්දනය කළ විට විශ්‍රාමික පෙම්වතිය සහෘදයාගේ සිතේ පැළපදියම් වූ කෘතියක් වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.

"කෙටිකතාව යනු කවරේදැයි එකම වැකියකින් පවසන ලෙස යමෙකු මට කිව්වොත් කෙටිකතාව යනු ජීවිතයේ සමීප රූපයක් යැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් එම කියමන කිසිසේත්ම පරිපූර්ණ නොවන බවට විවාදයක් නැත. එහෙත් කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ ඉඟියක් ඒ තුළ ගැබ් වී ඇතැයි මම සිතමි."

 

විමංසා දිල්ශානි දසිල්වා