වර්තමාන ටෙලි නාට්‍යය කරණය ගැන ඇත්තේ ඔබ තුළ කෙබඳු අදහසක් ද?
වානිජකරණය වූ ටෙලිනාට්‍ය කලාව තම ටෙලි නාට්‍යය වෙළඳ භාණ්ඩය කරගෙන මුදල් පසුපස හඹා යන ගණයේ ටෙලි නාට්‍යය ඕන තරම් අද රූපවාහිනියේ දැක ගත හැකිය. ඇත්තෙන්ම ටෙලි නාට්‍යයක් වනාහි එහි අරුත කුමක්ද? බොහෝ දෙනා වර්තමාන ටෙලිනාට්‍යකරණය කුමක්ද යන්න බව නොදැන ටෙලිනාට්‍යයකරණයේ නියැලෙති. කුමක්ද මේ ටෙලි නාට්‍යය මගින් අරුත් ගැන්වෙන්නේ? ටෙලි නාට්‍ය කලාවක් චිත්‍රපටි කලාවේ මූලික මාධ්‍ය වූ දෘෂ්‍ය රූපයත් ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රකාශන මාධ්‍යය වූ දෘෂ්‍ය රූපයත් ගුවන් විදුලි නාටක ප්‍රකාශන මාධ්‍යය වූ ශ්‍රව්‍ය නීතිය වේදිකාවේ මූලික ප්‍රකාශන මාධ්‍යය වූ රංගන රටාවන් එකට මුසු කරගත් විශේෂිත වූ කලාවකි.
ටෙලිනාට්‍ය යන වචනය අපට දායාද කළේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ආරම්භක ප්‍රධානියා වන ධම්ම ජාගොඩයන් ය. ටෙලි නාට්‍යයේ අර්ථය ට වටිනාකමක් නොදී එය වචනයට පමණක් සීමා කර නිපදවන වර්තමාන ටෙලි නාට්‍යය පිළිබඳ මා හද තුළ ඇත්තේ කණගාටුවකි. ටෙලි නාට්‍යයකදී විය යුත්තේ ගුණාත්මකභාවයෙන් පිරි සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ කතිකාවන් ගොඩනගා එහි නියම ස්වරූපය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි. නමුත් අද ටෙලි නාට්‍යය තුළ දැකගත හැකි වන්නේ පුහු ආටෝපයන් ය. ප්‍රායෝගික ජීවිතේ සැබැවින් ක්‍රියාවට නැංවිය නොහැකි දේවල් මවාපෑමයි. සිනමාවට, ටෙලි නාට්‍යයට, වේදිකාවට යන ඒවාට ගොඩනැගී ඇති ප්‍රේක්ෂක පිරිසක් සිටින බැවින් ටෙලි නාට්‍යය වටා බැඳුණු ප්‍රේක්ෂක පිරිසට ලබා දෙන සමාජ පණිවිඩය කුමක්ද? වර්තමාන ටෙලිනාට්‍ය හුදෙක් විනෝදාස්වාදය පමණක් අරබයා විකාශනය වන්නක් බව එකහෙලා පැවසිය හැකිය. නිදසුන් වශයෙන් දෙවෙනි ඉනිම, සංගීතය, සිදූ යන ආදී ටෙලි නාට්‍ය ගැන ඇත්තේ කණගාටුවකි. ප්‍රේෂකයාගේ ජනාදරය දිනා ගත් ජනප්‍රියම ටෙලි නාට්‍යය වුවද ප්‍රේක්ෂකයාද ජනප්‍රිය සංස්කෘතියේ පෙළඹී ඇති නිසා ඔවුන් ඉලක්ක කරගන්නේ ජනප්‍රියත්වයයි. එම නිසා ටෙලි නාට්‍ය තුළ පවතින ගුණාත්මක භාවය නොසලකා හැරේ.

මගේ මතකයේ හැටියට මා ළමා අවදියේ පසුවන විට මට ගුණාත්මක බැවින් පිරි ටෙලිනාට්‍ය, සමාජ යථාර්ථය පිළිබිඹු කරන ටෙලි නාට්‍ය දැක බලා ගැනීමට තරම් මගේ නෙත් වාසනාවන්ත විය. ඒ අතර තක්සලාව, හැන්දෑව, දෙගංමැදියාව, අප්පච්චි, One way, අඹ යාලුවෝ වැනි ටෙලිනාට්‍ය එකල මගේ හද දිනාගත් විශිෂ්ට ටෙලිනාට්‍ය විය. අද ද මා සොයන්නේ එවැනි ටෙලි නාට්‍යයන් ය. නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යය ගැන විශේෂ අවධානයකට ලක් වූ ටෙලි නාට්‍යය කිහිපයක්ද පවතී.
වාණිජකරණයට හසු ටෙලි නාට්‍ය වලට වඩා මෙවැනි ටෙලිනාට්‍ය දහස් වාරයකින් ඉහළ තැනක තැබිය හැකිය. කූඹියෝ, සහෝදරයා, සුදු ඇදගෙන කලු ඇවිදින්, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, තාත්තා, අඩෝ මෙවැනි නව තේමාවන්, සංකල්ප, සමාජ කතිකාවන් කැටි කොටගත් මෑත කාලයේ බිහි වූ මෙවැනි ටෙලි නාට්‍යයන් ප්‍රසාදයට පාත්‍ර කළ යුතුය. මෙවැනි ටෙලි නාට්‍යය වටා සිටින ප්‍රේක්ෂක ජනතාව සීමිතය. මක් නිසා ද යත් ප්‍රේක්ෂකයා පුහු ආටෝප වලට හා ජනප්‍රියත්වයට මෙන්ම විනෝදාස්වාදය පමණක් ලබා ගැනීමට කැමති නිසාවෙන් මෙවැනි ටෙලිනාට්‍යවලට වඩා වාණිජකරණය වූ ටෙලිනාට්‍යවලට බොහෝ සෙයින් ඇලුම් කරති.
ඒ වගේම ඉන්දීය ටෙලි නාට්‍යය අද ලාංකීය ටෙලි නාට්‍යය සමාජය තුළ විශේෂ ස්ථානයක සිටි. ප්‍රායෝගිකත්වය නොමැති කතා, යථාර්ථයට වඩා මවාපෑමක් සිදුවන මෙවැනි ටෙලි කතා පිටරටට සල්ලි දීලා ගන්න තරම් තවත් අනුවණ ක්‍රියාවක් නැත. අද සෑම දෙයක් මුදල මත පමණක් යැපෙන දෙයක් බවට පත් වී ඇත.
තවමත් ඉවරයක් දක්නට නොමැති මේ ආදරේ ඉන්දීය ටෙලිනාට්‍ය කුමක්ද මේ ප්‍රේක්ෂකයාට ගෙනහැර පාන්නේ? මම තවමත් මේ ටෙලි නාට්‍යයේ තේමාව සොයයි. ඒ වගේම එවැනි කතා වල වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව අසම්මත ගුණාංග සමාජ ගත කරයි. ප්‍රේම දඩයම වැනි නාට්‍ය මගින් පිළිගත නොහැකි මිත්‍යා මතයක් තේමාවන් කොටගෙන එය රස වින්දනය උදෙසා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම තවත් කියන්නට තරම් දෙයක් නොමැත. කෙටියෙන් පැවසුවොත් පිළිකුල්ය.
වර්තමාන ප්‍රේක්ෂකයා විනෝදාස්වාදය ලෙස සලකන්නේ තමන්ට හිනාවක්, විනෝදයක් පමණක් ගෙන දෙයක් ලෙසය. නමුත් විනෝදාස්වාදය මගින් අර්ථ ගැන්වෙන්නේ යම් තොරතුරක් හුදු තොරතුරක් ලෙසම ලබාදීමට වඩා එයට යම් වින්දනයක් එක් කරමින් ලබා දීමයි. චාල්ස් ඔස්ගුඩ් නැමැති මනෝ විද්‍යාඥවරයා විනෝදයේ අර්ථ දෙකක් පෙන්වා දී ඇත. එනම් ග්‍රහකයා තුළ ඉතා සැහැල්ලු ප්‍රමෝදයක් ඇතිකිරීම හා කිසියම් ජිවනාවබෝධයක් ඇති කිරීමයි. ඒ අනුව සතුට, සැහැල්ලුව, ප්‍රීති ප්‍රමෝදය, උද්යෝගය සහිත විනෝදයත් ද ගැඹුරු ලෙස දැනුම, අවබෝධය, ඥානය ලබාදීම සිදුවිය යුතුය. මේවා ආදර්ශයට ගනිමින් ගනිමින් ඔබටත් මටත් ලාංකේය ටෙලි නාට්‍ය ගැන සිතන්නට තව ඇත.
🖊️ විමංසා දිල්ශානි