Friday, October 30, 2020

 PonMagal Vandhal (2020)


ළමයි මල් වගේ යන වදන අප කවුරුත් අසා ඇති වදනකි. ඒ මල් මල් විදිහට වැඩෙන්නට නොදී පිපෙන කාලයේ දී ඒ මල් පර කරන කාමාතුරයෝ අද ද ඊයේ ද හෙට ද සිටි. "ළමා අපචාර" අප කාගෙත් කනට හුරු වචනයකි. මෙය අදට පමණක් වලංගු වචනයක් නොව අතීතයේ සිට ම අද දක්වා පවතින වචනයකි. අහිංසක මල් කැකුළු විනාශ කර දමන බිල්ලන් මේ මුළුමහත් සමාජයේ සිටිති. මේ ළමා අපචාර හා අපයෝජන යන තේමාව යටතේ වර්තමාන සිනමා ලෝකය චිත්‍රපට රාශියක් නිර්මාණය කෙරී ඇත. ළමා අපචාර  අතින් ලෝකයේ හත්වැනි ස්ථානයේ සිටින අසල්වාසී ඉන්දියාව තුළ ළමා අපචාර ඉහළ යන රටකි. ඒ ඇසුරින් ඉන්දියාවේ Ponmagal Vandhal චිත්‍රපටිය 2020 නිර්මාණය වූවකි.


Ponmagal Vandhal නැතහොත් මෙහි අරුත දේවතාවිය පැමිණියා යන්න අදහසක් ගෙන දේ. සූර්යාගේ නිෂ්පාදනයෙන් ද ජේ.ජේ. ෆෙඩ්රික්ගේ අධ්‍යක්ෂණයෙන්ද රාම්ජිගේ කැමරාකරණයෙන්ද ගෝවින්ද වසන්තගේ සංගීතය ඇසුරින් ළමා අපචාරයට සම්බන්ධව ගොඩනැගුණු සිනමා කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙහි ප්‍රධාන චරිතය ජොතිකා වන අතර ඇය වෙන්බාගේ චරිතයට පණ පොවයි. මෙකී චරිතයට අමතරව වරදරාජාන්, ඒන්ජල්, පෘථිවිරාජ් යන චරිතයන් ගේ භූමිකාව ද දැකගත හැකිය. 


චිත්‍රපටි ආරම්භයේදී 2004දී ජොති නමැති කාන්තාවක් ඌටි ප්‍රදේශයේ ළමයින් හතර දෙනකු සහාසික ලෙස මරණ දරා දමන ලද සිද්ධියක් කතාවක් ආරම්භයේ දී ගෙන හැර දක්වයි. චිත්‍රපටියේ ආරම්භයේ සිටම කුතුහලය දනවන පරිදි නිර්මාණය කොට ඇත. ඇත්තටම කවුද මේ ජෝති? ඇයි ඇය ළමයින් මැරුවේ? යන ප්‍රශ්නය මේ කියවන ඔබ තුලද මතුවිය හැකිය. මේ ජෝති නැමති කාන්තාව සමාජය නම් කරන ලද්දේ "සයිකෝ ජෝති" ලෙසය. පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ දී ඇය පළා යාමට උත්සාහ කිරීම නිසා ඇය වෙඩි තබා ඝාතනය කර ඇත සිද්ධිය ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය විය. තවමත් මෙම කතාව කුතුහලයෙන් යුතු කතාවකි. මෙහි ප්‍රධාන චරිතය පණ පොවන ජෝතිකාගේ නැතහොත් වෙන්බාගේ චරිතය පැමිණෙන්නේ 2004 සිදුවීමෙන් වසර ගණනකට පසුවය. වෙන්බා නීතිඥවරියකි. ඇය කාලයක් තිස්සේ කුමක් හෝ දෙයක් පෘථිවිරාජ් යන තම පියා සමග සොයන බවක් පෙන්වයි. ඇත්තේම කුමක්ද මෙහි සිදුවන්නේ? වෙන්බා හා පෘථිවිරාජ් කාලයක් තිස්සේ සාක්ෂි රැස් කරන්නේ කුමට ද?


2004 සිදිධිය එනම් සයිකේ ජෝති විසින් සහසික ලෙස ළමුන් මරා දැමීමට අදාළ නඩුව වෙන්බා අවුරුදු ගණනාවක් ගතවුනත් නැවත එම නඩුව උසාවිය ඉදිරියේ කතා කිරීමට පටන් ගනී. ඇය එම නඩුව මගින් කතා කරන්නේ සයිකෝ ජෝති මිනීමැරුම් කාරියක් නොවන බවත් ඇය අහිංසක දුප්පත් කාන්තාවක් බව යන්න ඔප්පු කිරීමයි. එසේ නම් කවුද ළමයින් අතර දෙනා මැරුවේ යන ප්‍රශ්නය ඔබ තුළ ද ඇතිවේ. ඊට අමතරව මේ චිත්‍රපටියේ තවත් චරිතයක් රඟ දක්වන වරදරාජනගේ චරිතය ගතහොත් ඔහු සමාජයේ හොඳ නමක් දිනා ගත් ගෞරවනීය ලෙස ජීවත්වන කීර්තිමත් පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාර කරන්නෙකි. කෙසේ වුවද වෙන්බා මේ වරදරාජයන්ගේ නම නඩුව තුළ කිහිප තැනකම කතා කරයි. නමුත් මෙහි කුමක් හෝ සැඟවුණු දෙයක් පවතින බව, කුතුහලය මෙය නරඹන ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීමට තිරපිටපත් රචකයා දක්ෂ වී ඇත. කෙසේ හෝ මේ නඩු විභාගය කතා කරන අතරතුර මේ ළමුන් හතර දෙනා මියගොස් ඇත්තේ සහසික මරණයකට ලක් නොවන බවත් එය දූෂණයකින් මිය ගිය බව හෙළි වේ. නමුත් එදා 2004 දී වෛද්‍ය වාර්තාව අසත්‍ය දෙයක් ප්‍රකාශ කර ඇත. පොලිස් වාර්තා අසත්‍ය ප්‍රකාශනයක් විය. නමුත්  ඔබත් මමත් දන්නා දෙයක් වන්නේ මිනීමැරුම් නඩුවක දී පොලිස් වාර්තාව හා වෛද්‍ය වාර්තාව ඒ නඩුවට ඉතාමත් වැදගත් දෙයක් බවයි. නමුත් බල දේශපාලනය නිසා මුදලට, බලයට පොලීසියද, වෛද්‍යවරුන් යටත් වන බවක් මෙම කතාවේ හොඳින් ඉස්මතු කර පෙන්වයි. එසේ නම් කවුද මේ මිනී මරුවා? කෙසේ හෝ වෙන්බා විසින් සයිකෝ ජෝති නිවැරදිකාරියක් බව ඔප්පු කරන අතර මෙම නඩුවට කොනකින් නම ගැවුනු වරදරාජයන්ගේ යම් සම්බන්ධයක් ඇති බව ඔප්පු කරයි. නීතීඥවරු පවා වරදවරදරාජාන්ගේ සල්ලි වලට කෙල හෙලයි. නීතීඥවරුන් සිටිය යුත්තේ යුක්තිය ලබා දීමටය. නමුත් මේ කතාවේ වරදරාජන්ගේ පාර්ශවයේ නීතිඥවරුන් ඔහුගේ මුදලට යටත් වූ පිරිසක් පමණි.


එසේ නම් මේ අහිංසක මල් කැකුළු පර කරන්නට ඇත්තේ වරදරාජා ද නැත්නම් වෙනත් කෙනෙකු ද මෙයට එයට පිළිතුර. එය සම්පූර්ණ වරද හිමි වන්නේ වරදරාජනගේ පුතාටය. වරදරාජාන් තම පුතාගේ වරද වසා ගැනීමට එදා පොලිසිය, වෛද්‍යවරු, උසාවිය මුදලට යටත් කොටගෙන ඇත. ජීවිතේ හරියට පාට වත් නොදැකපු ඒ පුංචි මල් කැකුළු ටික කෙතරම් වේදනාවක් විඳින්නට ඇත්ද? ඒ විතරක් නොවේ ඒ දෙමව්පියන් මැරි මැරී ජීවත් වනවා ඇති අදටත්. 


මෙය කියවන ඔබ තුළ යම්කිසි කුතුහලයක් ගොඩනැගේ. එනම් කොහොමද වෙන්බා සයිකෝ ජෝති නිවැරදිකාරියක් බව දැනගන්නේ යන්නයි. එම කතාව නරඹන මමද අවසානය දක්වා කුතුහලයෙන් පසු විය. ඇත්තෙන්ම වෙන්බා මේ සිද්ධිය ගැන නිශ්චිතවම දන්නෙ ඇයද වරදරාජයන්ගේ පුතාගේ අතින් පරව ගිය මලක් නිසාය. ඇය නමින් ඒන්ජල් ය. සයිකෝ ජෝතිගේ දියණියද එදා 2004 සිද්ධියේදී ගොදුරුවිය. තම දියණිය බේරා ගන්නට ගිය මොහොතේ දී ඇයගේ දියණිය වරදරාජන්ගේ පුතාගේ අතින් මිය ගොස් ය. ඒන්ජල් යනු එතැන සිටි තවත් දියණියක් පමණි. සයිකෝ ජෝති විසින් ඒන්ජල්ව බේරා ගන්නා අතර සයිකෝ ජෝති වරදරාජානගේ ගොදුරට ලක්විය. 


මෙයයි ඔබ කුතුහලයෙන් කියූ කතාව. ඇත්තෙන්ම මේ කතාව ඇසුරින් සල්ලි වලට ද නීතිය නංවා ගත හැකි බව පෙන්වයි. ඒ වගේම මේ වගේ සිද්ධීන් තවත් කොයිතරම් ලෝකයේ අසන්නට දකින්නට ඇත් ද? ළමා අපචාර සමකාලීන සමාජ ප්‍රශ්නයකි. අහිංසක මල් පර කරන්නන්ට නිදහසෙ නිදැල්ලේ ජීවත් වීමට ඉඩ නොදිය යුතුය. ඔවුන් නීතියේ රැහැනට කොටු කර ගත යුතුය. කොතරම් නීති පද්ධතියක් තිබුණ ද දුෂකයන්ට නිසි දඩුවමක් ලැබෙන්නේ නැත්නම් තවත් කතා කරන්නට දෙයක් නැත.තවත් දෙයක් පැවසිය යුතුය. එනම් මෙවැනි ළමා අපචාර රට කොයිතරම් නමුත් පොලිස් පැමිණිලි පොතේ මෙවැනි සිද්ධීන් ස්වල්ප වශයෙන් ලියවිලා ඇත්තේ. එයට හේතුව වන්නේ සමහර දෙමාපියන් තුළ තිබෙන ලැජ්ජාව, නම්බුවට හානියක් තියෙන බය, දේශපාලන බලයන්ට ඇති බිය යන කරුණු ය. නමුත් එසේ තම දරුවාගේ ජීවිතය නැතිකර දූෂකයන්ට නිදැල්ලේ ජීවත් වීමට ඉඩ දෙනවාද නැද්ද යන්න එය ඔබ තීරණය කළ යුතු දෙයක් ය.


ඉතින් මේ ආකාරයට ළමා අපචාර හා සම්බන්ධව ගොඩනැගුණු Ponmagal Vandhal  චිත්‍රපටිය ඉතා සාර්ථක ලෙසින් නිර්මාණය කොට ඇත. වර්තමාන සමාජ කතිකාවක් තේමා කොට ගෙන මෙහි විශේෂත්වය විය. ඒ වගේම චිත්‍රපටිය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක ආදායමක් ලබා ඇති චිත්‍රපටියක් බවට පත්වේ. ඒ වගේම මෙහි චරිතය වලට පණ පොවන ජෝතිකා, පාක්‍යරාජ්, පාණ්ඩ් රාජ් යන රංගන ශිල්පීන් තමන්ට පැවරී ඇති භූමිකාව මෙය නරඹන ප්‍රේක්ෂකයා තුල කුතුහලය ඇති වන පරිදි රංගනයෙන් දායක වී ඇත. 


චිත්‍රපටය අවසානයේ දී මෙසේ දක්වයි. 2018 ජාතික අපරාධ වාර්තාවලට අනුව ළමා ලිංගික අපයෝජනය ඉඳන් ආරක්ෂණ පනත යටතේ තියන පැමිණිලිවලින් ඉන්දියාවේ 16 6000 වඩා නඩු ප්‍රමාණයක් තවමත් කතා කරන්නටවත් අරගෙන නැත යන්න සඳහන් කර ඇත. 😐

Wednesday, October 14, 2020

 පුද්ගලයා හා මානසික ආතතිය

වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ මානසික ආතතියයි. "stress" හෙවත් මානසික ආතතිය අද අප කනට හුරු වචනයකි. සමාජයේ ජීවත්වන මිනිසුන් වශයෙන් බොහෝ දෙනා යම් යම් පීඩාකාරී තත්වයන්ට මුහුන දෙයි. එවැනි තත්ත්වයන් වන්නේ මානසික ආතතියයි. ඔබ ද මම ද මේ සියලු දෙනා මේ ජීවත් ම ගමන් මග තුළ විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දේ. එසේ නම් අපි බලමු මොකක්ද මේ මානසික ආතතිය කියන්නේ? එය ඇති වන්නේ කෙසේද? මානසික ආතතිය ස්වභාවය? අප මුහුණ දෙන ආකාරය ආදී යන අපි විමසා බලමු.


මානසික රෝග යටතේ සුළු මානසික රෝගයක් ලෙස මානසික ආතතිය පෙන්වාදිය හැකිය. මානසික ආතතිය යනු සරල මානසික ව්‍යාබාධයකි. එහෙත් ඇතැම් අවස්ථාවල දී බරපතළ මානසික රෝග ඇතිවීමට මෙය බලපෑම් කරනු ලබයි. රිචඩ්ලාසර්ස් සහ සුසෑන් ෆෝක්මන් විසින් 1984 දී යෝජනා කරන අන්දමට මානසික ආතති ඇති වෙන්න බාහිර ඇති සම්පත් හා ඉල්ලුම අතර අසමතුලිතතාවයක් පවතින විටදී හෝ යම්කිසි පුද්ගලයෙකු හට ආවේණික දරාගැනීමේ හැකියාව ට වඩා පිටතින් ඇති කරන පීඩනය ඉහළ ගිය අවස්ථාවන්හිදී ය. මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. මානසික ආතතිය ඇතිවීමට නියම හේතුව හෝ හේතුව හඳුනා ගැනීමට අපහසුය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ තත්ත්වය බොහෝ දුරට හටගන්නේ පුද්ගලයාගේ මනස තුළය. සාමාන්‍යයෙන් මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ දී බොහෝ බාධක, තැලීම් හැප්පීම්, බලාපොරොත්තු කඩවීම්, බිය, චිත්තවේග පාලනය  ජය පරාජය, ව්‍යසනය, අවබෝධය නොමැති වීම යනාදී ගැටලුකාරී තත්ත්වයන් දිගින් දිගටම ඔහුගේ හෝ ඇයගේ මනසට නිරන්තරයෙන් පීඩා ගෙන දෙන්නේ නම් මානසික ආතතිය ඇතිවීමට ඉඩකඩ පවතී. 


මානසික ආතතිය ඇතිවන තවත් ආකාරයක් ලෙස මානසිකව ඇතිවන ආතතිය පුද්ගලයාගේ විවිධ ජීවන ගැටලු සමඟ ඇති වේ. රැකියාවේ ප්‍රශ්න, විභාග හා ප්‍රේම සබඳතා ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න යනාදී වර්තමානය මානසික ආතතියට මුල් බැසගෙන ඇත. ඒ වගේම ලිංගික අපයෝජනය අතවර හා හිරිහැර මානසික ආතතියට සෘජුව බලපෑම් කරනු ලබයි.


නිදසුනක් වශයෙන් අප සාකච්ඡා කළහොත් අධ්‍යාපනික ගැටලු, මෙම ගැටළුව පුද්ගලයෙකු තුළ මානසික ආතතිය ඇතිවීමට බෙහෙවින් බලපාන කරුණකි. වර්තමාන සමාජයේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හමුවේ අප දරු දැරියන් මානසික ආතතියට බහුලව ලක් වේ. ඉගෙනුමට ඇති තරගකාරිත්වය, පමණට වඩා ඉගෙන ගැනීම, විභාග භීතිකාව, අමතර ටියුෂන් පන්ති යනාදිය අනවශ්‍ය ලෙස මනසට වද දෙන විට මානසික ආතතියට ගොදුරු වේ. විශේෂයෙන් ම විභාගයට පෙනී සිටින දරුවන් තුළ නියමිත විභාග දිනයට පෙර පාඩම් කර ගත හැකිද? විභාගය ලියන මොහොතේ දී කාලය ප්‍රමාණවත් වේද? පාඩම් කිරීමට දින ප්‍රමාණවත් වේ ද? මෙවැනි කරුණු විභාගයට පෙනී සිටින ඕනෑම කෙනකුට විවිධාකාර වශයෙන් බලපානු ලබන තත්ත්වයක් පවතී. නමුත් මෙම පීඩාකාරී තත්ත්වය පමණට වඩා ඉක්මවා ගිය විට stress හෙවත් ආතතියට ලක්වේ.එසේ සිදු වූ විට විෂය කරුණු මතකය තබා ගැනීමට අපහසු වීම, අමතක වීම, නින්ද නොයාම, අත වෙව්ලීම, අධික හිසරදය, දහදිය දැමීම, බිය වීම යනාදී ප්‍රතිඵලයන් හිමිවේ. ඒ වගේම විභාග ප්‍රතිඵල වලදී තමන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබු විට මානසිකව ඇද වැටීමක් ද තවත් සමහරු මේ උත්සන්න වී සිය දිවි නසා ගැනීමට පවා පෙළඹීමට හැකියාවක් තිබේ.  තවද පාසල් යන කුඩා දරුවන්ට විශේෂයෙන් 1, 2, 3 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට තමන්ගේ මනසට දරාගත නොහැකි තරම් වැඩ කන්දරාවක් පාසලේ ගුරුවරයා විසින් ලබා දේ. පාසල නිමවී ගෙදර පැමිණි විටද ළමයාට විවේකයක් නොමැත. අමතර ටියුෂන් පන්ති වලට දෙමව්පියන් බලෙන් රැගෙන යාමේදී දරුවන්ගේ මානසික වශයෙන් පීඩාවක් ගෙන දෙයි. දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමටවත් අද කාලයක් නොමැත. ඒ වගේම තරගවලින් ජය පරාජය අහිමි වීම, එය විඳ දරා ගැනීමට නොහැකි වූ තත්ත්වයන් වලදී පවා කුඩා දරු දැරියන් මානසිකව ඇද වැටීම් වලට ලක්වේ. මෙකී තත්ත්වයන් නිසා කුඩා ළමුන් මානසික ආතතියට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.


තවත් නිදසුනක් මඟින් පැහැදිලි කළහොත් ප්‍රේම සබඳතා බිඳවැටීම මානසික ආතතියට තවත් කරුණකි. ප්‍රේම සබඳතා බිඳවැටීම යටතේ තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ වියෝවක් යනාදී කරුණු මත අද සමාජය බොහෝ තරුණ තරුණියන් මානසික වශයෙන් පීඩා විඳිති. තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම දරා ගැනීමට නොහැකි වූ කල්හි විවිධ නොමනා ක්‍රියාවන් වලට පෙළඹීමට ක්‍රියා කරයි. ආහාර නොගෙන සිටිම, සැමදෙනා සමග කේන්තියෙන් පසුවීම, කතා නොකර සිටීම, තම ශරීරයට හානි සිදුකර ගැනීමට පෙළඹීම, මත්පැන් වලට හා මත්කුඩුවලට ඇබ්බැහිවීම එවැනි තත්ත්වයන් උපරිම ගිය විට සියදිවි නසා ගැනීමට ද පෙලඹේ.තමන් ආදරේ කළ පුද්ගලයා හැර යාම හෝ අහිමි වීම සෑම දෙනාටම එක සේ දරා ගත නොහැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කල්හි දරාගැනීමේ ප්‍රමාණයද   පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ වගේම විවාහ ජීවිතයේදී මානසික ආතතියට ලක්වන ප්‍රමාණය ඉතාමත් වැඩිය. සැමියාගේ හෝ බිරිඳගේ වෙනස්වීම් හෝ වෙනස්කම්, අනියම් සබඳතා, සහකරුගේ හෝ සහකාරියගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම්, දරුවන්ගෙන් වෙන් වීම්, වියෝවන්, ආර්ථික ප්‍රශ්න යනාදී කරුණු මත මානසික ආතතියට බලපෑම් කරනු ලැබේ. මෙවැනි කරුණු කාරණා අද අපට බොහෝ සෙයින් දකින්නට අසන්නට ලැබේ. එබැවින් පැහැදිලි වන්නේ වත්මන් සමාජයේ බහුතරයක් ම මානසික ආතතියට ගොදුරු වීමේ ශීඝ්‍රතාව වැඩි වී ඇති බවයි. 


ඒ වගේම තවත් පිරිසකට තමන් රැකියාව කරන ස්ථානය මානසික ආතතියට හේතු වේ. ප්‍රධානියාගේ බලපෑම්  අධික ලෙස වැඩ වැඩි වීම, ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීමට සිදුවීම, අඩු වැටුප්, අනෙකුත් අය සමඟ මත ගැටුම්, අගය නොකිරීම, පිළිගැනීමක් නොමැති වීම යන කරුණු මත මානසික ආතතියට බලපායි.


ඒ වගේම සමාජයීය සාධක ද පුද්ගලයාගේ මානසික ආතතියට බෙහෙවින් බලපානු ලබයි. දුප්පත්කම, ප්‍රශ්නකාරි අසල්වැසියන් හා නගරබද පදිංචිව ඉඩකඩ නොමැති වීම, ආගම්වාදය, අධික ශබ්දය යන ආදී පාරිසරික සාධකද මානසික වශයෙන් බලපානු ලබයි. ඒ වගේම පුද්ගලයෙකු දිගුකාලීනව රෝගයක් වෙනුවෙන් බෙහෙත් ඖෂධ ලබා ගන්නේ නම්, විරැකියාව, හුදෙකලා බව විවේකය මදිකම යනාදී ගැටළුකාරී තත්වයන් ද මානසික ආතතියට හේතු වෙයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම් ද මානසික ආතතියට හේතු වේ. දිගුකාලීනව මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කරන්නේ නම් ඔහුගේ මනස විකෘති ස්වභාවයට ලක්විය හැකිය. එකී අවස්ථාවලදී මානසික ආතතියෙන් නොනැවතී  විශාදය දක්වා මනස ගමන් කරයි. තවත් සමහරුන් මෙකී මත්පැන් භාවිතය නිසා වෙනත් මානසික රෝගාබාධ වලට ද ලක්වේ. 


මේ ආකාරයට දිගුකාලීනව මානසික ආතතිය නිසා ඇතිවන රෝගාබාධ ද පවතී. එනම්,

  •  අධික රුධිර පීඩනය
  •  අංශභාගය
  •  දියවැඩියාව
  •  හදවත් රෝගය
  •  ගැස්ට්‍රයිටිස්
  •  විශාදය
  •  අසාමාන්‍ය බිය 
  •  ප්‍රතිශක්තිකරණය අඩු වීම යනාදිය දැක්විය හැකිය. 


මෙකී ඉහත දැක්වූ කරුණු මගින් ගම්‍ය වන්නේ සමාජයේ ජීවත්වන අපි කුමන හෝ මානසික ආතතියකින් පෙලෙන බවයි. එසේ වී නම් අප මානසික ආතතිය දුරු කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගිය යුතුය. මානසික ආතතිය නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වූ විට මනස පමණක් නොව කය ද රෝගී බවට පත් වේ. එසේ වී නම්,

  •  ව්‍යායාම කිරීම
  •  යෝග කිරීම
  •  සංගීතයට සෞන්දර්යට  හිත යොමු කිරීම
  •  සුරතල් සතුන් ඇතිකිරීම
  •  ස්වභාවික පරිසරය සමඟ කාලය ගත කිරීම
  •  කවි ලිවීම හෝ පොතක් ලිවීම කියවීම දිනපොතක් භාවිතා කිරීම
  •  තම ළඟම මිතුරෙකු සමග නිතර කතා කිරීම
  •  ලස්සනට ඇඳුම් ඇඳීම
  •  මනස ලිහිල් කර ගැනීමට භාවනා කිරීම ආගමික වතාවත්වල යෙදීම
  •  තමන්ට හොඳ යැයි සිතන දේවල් ජීවිතයට ළංකර ගැනීම 
යනාදී උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට මානසික ආතතිය පාලනය කරගත හැකිය. නිතරම සතුටින් කාලය ගතකළ හැකිය.


Tuesday, October 6, 2020

 ජන මතය හා වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරිත්වය


ජන මතය යන්න අද ඊයෙ ලෝකයට පහළ වූවක් නො ව, අතීතයේ සිට ම පැවැත්වුණු දෙයකි. ජනමත සන්නිවේදන කාර්යයකි. දේශපාලන විද්‍යාත්මකව ද එය විග්‍රහ කළ හැක්කකි. එබැවින් ජන මතය යන්න සරලව දැක්විය හැකි ය. එනම් යම්කිසි කරුණක්, සිද්ධියක්, සිදු වීමක්  පිළිබඳ බහුතර පිරිසක් දරන්නා වූ මතය ජන මතය වේ. එය අුශ්‍යමාන බලවේගයකි. ජනමතය මානව සමාජය තුළ සමාජ, ආර්ථික, ආගමික, පාරිසරික, සෞඛ්‍යය හා අධ්‍යාපනික ආදී සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම ඍජුවම බලපෑම් කරයි. 


ජනමතය රටක් තුළ හඳුනා ගැනීමට නම් එම රට තුළ ක්‍රියාත්මක වන සන්නිවේදන සංකල්පය දැනගත යුතුය. එනම් මාධ්‍ය  ක්‍රියාත්මක වන ආකාරය අනුව ජන මතය කෙබඳු ස්වරූපයකින් ක්‍රියාත්මක වන්නේද යන්න හඳුනා ගත හැකිය. අධිපතිවාදී, නිදහස් මතවාදී, සමාජ කොමියුනිස්ට්වාදී ආී විවිධ සංකල්ප ක්‍රියාත්මක වන රටවල මාධ්‍ය ක්‍රියාකාරිත්වය එම සංකල්ප වලට අනුව ජනමතය ගොඩනැගීමට ක්‍රියාත්මක වේ. එවිට රට තුළ ඇතිවන මහජන මතය කෙබඳු  ස්වරූපයක් ගන්නේ දැයි දැන ගැනීමට හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අධිපතිවාී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක වන රටක මාධ්‍ය හිමිකාරිත්වය රජයේ යටතේ පවතින අතර රජයට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවයි. රජයට පක්ෂපාතී ලෙස ද  රජය විවේචනය නොකරන ආකාරයේ ජන මතයක් නිර්මාණය කිරීමක් සිදු වේ. කොමියුනිස්ට්වාදී සංකල්පය ක්‍රියාත්මක වන රටක නම් ජනමතයේ ක්‍රියාකාරීත්වය රජයේ තොරතුරු ජනතා ගත කිරීමට පමණක් වෙන නිසා ජන මාධ්‍ය මගින් හෙළි කරන ජනමතයට රජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ඒ වගේම නිදහස් මතවාදී සංකල්පය ක්‍රියාත්මක වන රටක ජනතා අදහස් ජනමතය ලෙස ඉස්මතු විය යුතු ආකාරයේ ක්‍රියාත්මක වුවත් ප්‍රායෝගිකව කිසිදු රටක් හඳුනාගත හඳුනා ගත නොහැකි ය. 


මේ ආකාරයට වර්තමානයේ දී මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළින් දැකගත හැකි වන්නේ සැබෑ ජනමතය යටපත් කිරීමකි. මාධ්‍ය මගින් අලුත් මගින් අලුත් ජනමතයක් නිර්මාණය කරයි. ජන මතය ජනතා කේන්ද්‍රීය බව නොව මාධ්‍ය කේන්ද්‍රීය ගොඩ නැගෙන බව වර්තමාන සමාජය තුළ දැකගත හැකිය. නිදසුනක් ලෙස "the peoples channel - සිරස " , " ඔබේ පවුලේ නාලිකාව - ITN " ආදී වශයෙන් දැක්විය හැකි ය.


ජනමතයක් ගොඩ නැගීමේ දී වර්තමාන මාධ්‍ය තුළ රූපවාහිනිය ප්‍රබල දායකත්වයක් සපයයි.එනම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන රූපවාහිනිය මගින් ග්‍රාහකයාට විශාල බලපෑමක් ඇති කළ හැකි ය. යම් සිද්ධියක් සම්බන්ධයෙන් ජන මතයක් ගොඩ නැගීමට නම් එය ශ්‍රවණයට පමණක් නොව දෘශ්‍ය ලෙස නැරඹීමට හැකියාව පවතින නිසා රූපවාහිනිය වටා විශාල ග්‍රාහක පිරිසක් එ රැස් වී සිටි. එසේම සජීවී දර්ශන තල ද නැරඹීමට හැකියාවක් ලැබෙන නිසා රූපවාහිනිය  පුද්ගලයාට සමීප වේ. විශේෂයෙන්ම සමාජ ප්‍රශ්න පිළිබඳ ජනමතයක් ගොඩ නැගීමට රූපවාහිනී නාලිකා ඇපකැප වී ඇත. නිදසුන් ලෙස කිරිපිටි ප්‍රශ්නය, වර්තමාන corona virus ඒ පිළිබඳ විශාල ජනමතයක් ගොඩ නැගීමට දායක වී ඇත. මේ සදහා අද දෙරණ, හිරු නිව්ස් වැනි නාලිකා ජනමතයක් ගොඩනැගීමට ලා ප්‍රධාන තැනක් උසුලයි. ඒ වගේම දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ පවතින ජනමතය වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කිරීමට රූපවාහිනියට හැකි වී තිබේ. නිදසුනක් ලෙස ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට රූපවාහිනි වැඩ සටහන් ඔස්සේ හැකියාව ලැබුණි. එනම් දෙරණ නාලිකාව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව ප්‍රවෘත්ති පළ කිරීම මගින් ජනතාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබා දුනි. ඒ සඳහා චතුර අල්විස්, ඩිල්කා සමන්මලී වැනි අයගේ කථිකත්වයද ජනමතයක් ගොඩනැගීමට හේතු වී ඇත. ඒ වගේ ම ITN නාලිකාව මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සම්බන්ධව ජනමතයක් ගොඩ නැගීමෙහිලා දායකත්වයද දක්වන ලදී. එසේම දේශපාලන වැඩසටහන් මගින් ද ජනමතයක් නිර්මාණය කිරීමේදී කිරීමේ ලා ප්‍රබලව බලපා ඇත. නිදසුන් ලෙස රතු ඉර, බලය , සලකුණ, අලුත් පාර්ලිමේන්තුව, talk with chathura ආදිය දේශපාලන වැ සටහන් වෙයි. ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ ප්‍රබල බලවේගයක් ලෙස වෙළෙඳ දැන්වීම් දැක්විය හැකි අතර එය සමාජ තුළ ජනමතයක් නිර්මාණය කිරීමේ ලා වඩාත් වැදගත් වේ. යම්කිසි භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් වෙළඳ දැන්වීමක් නිරන්තරයෙන් රූපවාහිනිය ඔස්සේ ග්‍රාහකයා වෙත ගෙන ඒම මගින් ඒ පිළිබඳ ජන මතයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස "එල් බී ෆිනෑන්ස් - රන් ණය උකස් සේවා " දැකිය හැකි ය. එසේම "Teleseen" මගින්  ව්‍යායාම උපකරණ, ආහාර පිස්න උපකරණ ආදී භාණ්ඩ හඳුන්වාදී එය ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයෙන් ග්‍රාහකයාට සමීප කරවා ලමින් ඒ සම්බන්ධයෙන් යම්කිසි මතයක් සමාජය තුළ ගොඩ නැගීමට සමත් වේ.


ජනමත නිර්මාණය කිරීම කෙරෙහි බලපාන තවත් මාධ්‍යයක් වශයෙන් ගුව විදුලිය පෙන්වා දිය හැකිය. ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණක් වන මෙය රූපවාහිනිය පැමිණීමට පෙර සිටම ජන මත නිර්මාණය  කිරීමෙහිලා මුල්තැන ගෙන තිබේ. සජීවී බව, සමීප කතා බහ, සරල බස් වහර, නිර්මාණශීලී කථන විලාස යනා දී  යොදා ගනිමින් එදා සිට අද දක්වා ගුවන් විදුලිය ග්‍රාහකයාට සමීප මාධ්‍යයක් බවට පත් වී ඇත. ඉලක්කගත කණ්ඩායම් සඳහා ද ජනමතයක් නිර්මාණය කිරීමට බහුලවම භාවිතා කරන්නේ ගුවන් විදුලියයි. නිදසුනක් ලෙස ගොවි පිරිසකට යම් ජනමතයක් ග්‍රාහක ගත කරනවා නම් ඒ සඳහා යොදාගත යුත්තේ ප්‍රජා ගුවන් විදුලි සේවාවයි. ඒවා නම් මහවැලි ප්‍රජා ගුවන් විදුලිය, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය යනාදිය වේ.


අතීතයේ සිට ම ජන මත නිර්මාණය කිරීමේ කිරීමේ ලා පුවත්පතේ දායකත්වය ප්‍රබල තැනක් ගනියි. එඩ්මන් රණසිංහ ප්‍රකාශකර සිටියේ පුවත්පතකට ජන මතයක් ගොඩ නැගීමට හැකියාව පවතින බවයි හැබැයි එය ජනතාවගේ මතය විය යුතු ය. පුවත්පතකට බොරු මතයක් ගොඩනැඟිය ගොඩ නැගිය නොහැකි බවත් එය එසේ කළත් තාවකාලික බවත් ඔහුගේ අදහසයි. රූපවාහිනිය, ගුවන් විදුලිය පැමිණීමටත් පෙර සිට ම ක්‍රියාත්මක වූයේ පුවත්පත්යි. ලංකාවේ ප්‍රථම වරට පුවත්පත ඇරඹුණේ දේශපාලනමය අරමුණු සඳහා නොවේ. එනම් ආගමික කටයුතු ප්‍රචාරය කිරීම සඳහා ය. එහිදී ද සිදුවූයේ තම ආගම හා සංස්කෘතිය රැක ගැනීම අරමුණු කරගෙන ඒ ඒ ආගම් වලට අයත් ජනතාව තුළ ජන මතයක් ගොඩ නැගීමට ය. ක්‍රිස්තියානි මිෂනාරි වරුන්ගේ ආගමික ප්‍රතිපත්ති නිසාවෙන් තම ආගම හා සංස්කෘතිය රැක ගැනීම අරමුණු කොට ගෙන එමගින් ප්‍රබල ජනමතයක් ගොඩ නැගීමට පුව පතේ මෙහෙවර කියා නිම කළ නොහැකි ය. මෙතෙක් බිහි වූ පුව පත් කලාවේ ඩී ආර් විජයවර්ධන, වික්ටර් අයිවන්, බී ඒ සිරිවර්ධන යනාදී චරිතයන් පුවත්පත් මගින් ප්‍රබල දේශපාලනමය වශයෙන් ජන මතයන් ගොඩ නගන ක් ලැබූ පුද්ගලයෝ වෙති. නිදසුන් ලෙස දිනමිණ, රාවය, ඇත්ත, පුවත්පත් දැක්විය හැකි ය. වර්තමානයේ දී දිවයින පුව පත මගින් මනෝඡ් අබේධීර ද රාවය පුව පත ද ජනමතයක් ගොඩ නැගීමේ කාර්යභාරයේ නියුක්තව සිටි. 


වර්තමානය වන විට පුව පත, ගුවන්විදුලිය, රූපවාහිනිය යන මාධ්‍යයන් අභිබවා සමාජ මාධ්‍ය ජන මත නිර්මාණය කිරීමේ කරලියට පැමිණ ඇත. සමාජ මාධ්‍ය අතුරින් ජන මත නිර්මාණය කිරීම කෙරෙහි බලපාන ප්‍රධාන මාධ්‍යය වන්නේ ෆේස්බුක් පිටුවයි. එනම් Facebook හරහා බොහෝ දෙනා තම අදහස් ද උදහස් යෝජනා චෝදනා ය ආදී සියල්ල ම මේ හරහා පළ කිරීම මගින් විවිධ මතයන් ගොඩ නගයි. පසුගිය විසි එක් වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Facebook මඟින් විවිධ සාක්ෂි ඔප්පු කරමින් ඒ වටා විශාල ප්‍රජාවක් එකතු කොටගෙන විවිධ මතයන් ගොඩ නගන ලදී. ඒ වගේම 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද ජනතාවගේ අදහස් ආකල්ප වෙනස් කිරීම කෙරෙහි facebook බලපා ඇත. මේ ආකාරයට වත්මන් සමාජයේ ඒ තුළ ජන මාධ්‍යයට වඩා සමාජ මාධ්‍යයට සමාජය තුළ ජන මතයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇත.

 කාන්තා අතවර හා ලාංකීය කාන්තාව


කාන්තා අතවර කියන්නේ කුමක්ද?  ලෝකයේ ඕනෑම රටක ජීවත්වන කුමන තරාතිරමක හෝ කාන්තාවක් ආර්ථික, සමාජයීය, සංස්කෘතික යන කුමන දෙයක බලපෑමක් නිසා හෝ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කරයි ද ඒ කාන්තා අතවරයක් ලෙස හැඳින්විය හැකිය. කාන්තා අතවර ලෙස අද සමාජයේ බොහෝ දෙනා දකින්නේ කාන්තාවන් දූෂණයට ලක් කිරීම, තැත් කිරීමට යන කාරණා දෙක පමණි. කාන්තාවන්ට පහර දීම, මරා දැමීම, දූෂණයක් නොවන වෙනත් ලිංගික හිරිහැරයක් ද අතවර කිරිමක් ලෙස දැන සිටින පිරිසක් සිටියත් කාන්තාවගේ හා අකැමැත්ත හෝ විරුද්ධත්වය නොතකා ඇයට කරනු ලබන කුමන හෝ අන්දමේ ශාරීරික හෝ මානසික පීඩාවන් කාන්තා අතවරයක් ලෙස දැන සිටින්නේ අල්ප වශයෙනි. මේ පිළිබඳ ඇති නොදැනුවත්කම නිසා දිනෙන් දින ලාංකීය සමාජය තුල කාන්තාවන් අතවර වලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වේ.



කාන්තා අතවර කොටස් දෙකකි. එනම් ශාරීරික ව කෙරෙන අතවර හා මානසිකව කෙරෙන අතවරයන් ය. ශ්‍රී ලංකාවේ බොහෝ විට නීති ක්‍රියාත්මක වන්නේ ශාරීරික ව කෙරෙන කාන්තා අතවරයන්ට ය. මානසික අතවරයන් සඳහාද නීති රීති පැවතියද කාන්තාවන් එය නොදැනීම, නීතිය පිළිසරණ නොපැතිම නොදන්නා නිසාත් අධිකරණය හමුවේ එන එවැනි සිද්ධීන් දැකිය හැක්කේ ඉතාමත් විරල ලෙසය. ශාරීරික හා මානසික අතවරයන් තිබුණද ඒවා මොනවා ද යන නිසි අවබෝධයක් සමස්තය තුළ නොමැත. ශාරීරික අතවර මොනවාද? ස්ත්‍රිය දූෂණය කිරීම, ස්ත්‍රියක දූෂණයට තැත් කිරීම, දූෂණයක් නොව මුත් බරපතළ නොවන ලිංගික ක්‍රියාවක් කිරීම, අකමැත්තෙන් ඇයගේ ශරීරයේ ස්පර්ශ කිරීම, සුළු හෝ බරපතළ පහර දීමට ලක් කිරීම හෝ තුවාල කිරීම, වැය කරන ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවා කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකෑම, ශාරීරිකව ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා සේවය නියුක්ති කිරීම හා ඔරොත්තු නොදෙන කාර්යයන්හි නියුතු කරවීම, සිරිත් විරිත් ආගමික හා සංස්කෘතික මතවාදවලින් කාන්තාවන් ශාරීරිකව පීඩාවන් වලට පත් වන ආකාරය නීතිරීති පැනවීම ආදිය වේ. මානසික වශයෙන් සිදුකරන අතවර නම් අද කාන්තාවන් හඳුන්වන්නේ ගෙඩිය,කෑල්ල, බඩුව, අයිටම් එක, සෙට් එක ගැන පහත් වචනවලින් ය. මහමග දී ගමන් කිරීමේදී අසභ්‍ය විහිළු තහළු, අසභ්‍ය යෝජනා, අපහාස උපහාස කිරීම මෙවැනි දේවල් වලින් ගැලවී යාම ඉතාමත් පහසු දෙයක් නොව. සමාජයේ පිළිගැනීම්, සිරිත් විරිත්, මතවාද වලටත් පුරුෂයාට වඩා කාන්තාව පහත් යන අදහස් ඔස්සේ කාන්තාව දැඩි මානසික පීඩාවන්ට ලක් කරන බව නොරහසක් ය. 


ලාංකීය කාන්තාවගේ තත්වය ගැන සාකච්ඡා කිරීමේදී කාන්තාව යනු කවුරුන්ද යන කෙටි හැඳින්වීමක් සිදු කිරීම ඉතා වැදගත්ය. කෙටියෙන් හා සරලව වර්තමාන කාන්තාව හැඳින්වුවහොත් කාන්තාව යනු වර්තමාන ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශ්වය අභිබවා ගිය රටේ සංවර්ධනයට හවුල් වන ශ්‍රම බලකායකී. ඇය ලාංකීය සංස්කෘතිය දරා සිටින්නියක් ලෙසද හඳුනාගත හැකිය. මෙසේ දැක්වූවද ඇත්ත වශයෙන්ම ලාංකීය සමාජය තුල කාන්තාවගේ තත්ත්වය කෙසේ ද යන්න පෙර සඳහන් කළ සේ කාන්තා අතවර ගැන විමසා බැලීම ඉතාමත් වැදගත් වේ. 


ලාංකීය සමාජය සෑම විටම කාන්තාව දෙවැනි තැනෙහිලා සැලකිම තවමත් දැකිය හැකිය. මෙයට හේතු වී ඇත්තේ කාන්තාව ගැන පවතින අපේ සංස්කෘතිය අනුව හා කාන්තාව වටා ගොඩ නැගී ඇති පිළිගැනීම් ය. "ගැහැනියකගේ නුවණ හැඳිමිටේ දිගයි", "විශ්වාස කළ හැක්කේ නූපන් ගැහැණිය පමණයි", "ගැහැණිය අසුද්දයි" යන්න කියමන් අතීතයේ සිට ගොඩනැගී ඇත. නූතන තාක්ෂණයෙන් පිරුණු ලෝකයේ මිනිසා පියවරෙන් පියවර ගමන් ගන්නා මෙවැනි ලෝකයක ද තවමත් මෙම කියමන් වලංගු වී පවතී. ඒ වගේම ගැහැණිය කියූ පමණින් ඇය සෑමවිටම කුස්සියේ මුල්ලට තල්ලු කර තැබීමක් තවමත් සමාජයේ දැකිය හැකිය. 


කුඩා කල සිටම ගැහැනු දරුවෙකුට දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ආරක්ෂා වැදගත් වේ. දැරියකගේ සිට මැහැල්ලක් දක්වා එනම් ජීවිත කාලය පුරාවටම කාන්තාව කාමාතුරයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැදගත් වේ. මෙය සමහර දෙමව්පියන්ට හිසරදයක් ව පවතී. ඉපදුණු දා පටන් තම දියණිය ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ හිස මත පැටවූ ගලක් මෙන්ය. එසේම දැරියක් මල්වර වීමෙන් පසු ඇයට තවත් සීමා බන්ධන පැනවෙයි. ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට, යහළුවන් ආශ්‍රය කිරීමට, තනියම ගමන් බිමන් යාමට යන ආදී ක්‍රියාවන් ට නිවස තුළින් තහංචි පැනවේ. ඒ වගේම කාන්තාවක් මාසික ඔසප් වන දින වලදී ඇය කිලිටි තැනැත්තියක් ලෙස සලකනු ලබයි. ආගමික ඉගැන්වීම් වල දී සඳහන් කරන්නේ කාන්තාව අශුද්ධ බවයි. එවැනි දවස් වලට පූජනීය ස්ථානවලට, පින්කම් වලට, යන්ත්‍ර මන්ත්‍ර තොවිල් දේවාල ගෙවල් වලට සහභාගි වීමට ඇයට සමාජය විසින් තහංචි පනවා ඇත. එසේ නම් යම් පැනයක් ඇසීමට මට සිතුණි. එනම් කාන්තාව අශුද්ධ නම් බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ හේමමාලා කුමරිය කෙස් මත රඳවා පැමිණියේ කෙසේද? ඇයත කාන්තාවකි. ඇයටත් මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක වේ. එසේ නම් සමාජය කිසිදු පලක් නැති මතවාද උපහාසයට නැගිය හැකිය. 


වර්තමාන ලාංකීය කාන්තාවගේ තත්වය පරික්ෂා කිරීමේදී කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිතා කිරීමක් නූතන ලෝකය දැකිය හැකිය. මුද්‍රණ හා විද්‍යුත් දෙන මාධ්‍ය දෙකෙහි හා නව මාධ්‍යයන් වල ද වෙළෙඳ භාණ්ඩයක් බවට කාන්තාව පත්ව ඇත. පුවත්පතක මුල් පිටුව, වෙළද දැන්වීම් වල, ටෙලි නාට්‍යවලට කාන්තාව අයුතු ලෙස යොදා ගැනීම විශේෂයෙන් ටෙලිනාට්‍යවල  කාන්තාවන් කෙබඳුද යන්න අයුතු ලෙස යොදා ගැනීම ඒ කාන්තාවට නොදැනිම සිදුවේ. තවත් එක් විශේෂ කරුණක් නම් මාධ්‍ය ඔස්සේ විකාශනය වන නූතන ගීත රැල්ලෙහි කාන්තාව අපහාසයට හා උපහාසයට ලක් වේ. "ගැහැනුන් ලෝකෙ ස්ථිර නෑ, චපලයි" යන ආදී අර්ථයන් ගෙන දෙන ගීත බහුල ප්‍රමාණයක් වර්තමානය විකාශනය වේ. එම ගීත වලට අනුව නිතරම වැරදිකාරයා හෝ වැරැද්ද පවතින්නේ කාන්තාව හෙවත් ගැහැණු ළමයා මතය. සැබවින්ම ගැටලුවක් මතුවන්නේ හැම ප්‍රේම සම්බන්ධතාවයක ම අතරමග නැවතීමට හේතු වන්නේ ගැහැණිය පමණක්ද යන්නයි. 


රැකියාවක් තුළ දී ද කාන්තාව මානසික හා ශාරීරික වශයෙන් යම් යම් අතවර වලට ලක් වේ. ඇතැම් ආයතන ප්‍රධානින් පමණ ඉක්මවා වැඩ කරවීම, ශ්‍රමය සූරාකෑම, ඔවුන්ගෙ අතකොළුවක් වශයෙන් භාවිතා කිරීම හා වුවමනා එපාකම් සම්පූර්ණ කර ගැනීම, බලහත්කාරකම් කිරීම යනාදී ක්‍රියාවන්ට වර්තමාන කාන්තාව ලක්වේ.


ගැහැනියකගේ ජීවිතයේ වටිනාම සන්ධිස්ථානයක් වන්නේ විවාහය යි. හුඟක් අයගේ විවාහය සමග ජීවිතය ලස්සන වෙනවා වගේම තවත් අයගේ ජීවිතය අපායක් බවට පත්වේ. විවාහයකදී වුවද කාන්තාව තවත් එක් ආකාරයකින් හිංසනයට තැලීම් පොඩි වැඩ ලක්වේ. සංස්කෘතියට අනුව විවාහයකදී කාන්තාව සතු වටිනාකම් දෙකක් පවතී. එනම් දෑවැද්ද සහ කන්‍යාභාවයයි. තරුණියක් විවහා කර ගැනීමේදී දෑවැද්දක් තිබිය යුතු බව අප බොහෝ දෙනා පෙර සිටම දන්නා දෙයකි. මෙවැනි මතයක් ගොඩනගා ඇත්තේ අපේ පැරැණි සමාජයේ වුවද වර්තමාන සමාජය මේ දෑවැදි ක්‍රමය මත මංගල්‍යය සිදුකරයි. මෙය වැඩිපුරම දැකිය හැක්කේ යෝජිත විවහායන් තුළය. තරුණියකගේ දෑවැද්ද අඩු වැඩි ප්‍රමාණය හොඳින් සලකා බලයි නම් එයින් හැඟවෙන්නේ තරුණියකගෙ වටිනාකම තීරණය වෙන්නේ දෑවැද්ද වටිනාකම මත බවයි. විවාහයකදී ගැහැනියකගේ දෙවැනි වටිනාකම වන්නේ කන්‍යාභාවයයි. එනම් කන්‍යාභාවය තම ස්වාමිපුරුෂයාට ඔප්පු කිරීමත් එසේ කන්‍යාභාවය ඔප්පු කිරීමට කළ නොහැකි වූ විට ඇය ජීවිත කාලය පුරාවටම වන්දි ගෙවයි. ගැහැනියකගේ පිරිසිදුකම සොයන්නා සේම පිරිමියෙකු ගේ ද පිරිසුදුකම සෙව්වා නම් ගැහැණියට වඩා අද ජීවිතයේ වන්දි ගෙවන්නේ පිරිමින්ය. මෙවැනි සමාජයක ජීවත් වන ගැහැනිය ගැන කියන්න තරම් දෙයක් නොමැත.විවාහයකදී කාන්තාව ගැරහුමට ලක් වන තවත් දෙයක් නම් දරුවකු නොමැති වීමයි. ලෝකයේ සියලුම කාන්තාවන්ට මව් පදවියේ දැරිය නොහැකිය. එය අප අවිවාදාත්මක ව පිළිගත යුතු කාරණාවකි. සමහර කාන්තාවන්ට උපතින්ම හෝ වෙනත් හේතුවක් නිසා දරුවන් බිහි කිරීමට නොහැකි අවස්ථා අද සමාජයේ අනන්තවත් දැකිය හැකිය. එය ඇයට ලැබෙන්නේ උපතින්ම ය. එය ඇයගේ වරදක් නොවන බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් මෙසේ දරුවන් වැදීමට නොහැකි වූ කාන්තාවන් වඳ ගැහැණුන් බවට නම් කර සමාජයෙන්ම කොන් කර ඇත. දරුඵල නැතිවීමට කාන්තාවගේ ම පමණක් වරදක් නැති අවස්ථා පවතී. සමහර විට පිරිමි පාර්ශ්වයන්ගේ ද අඩුපාඩුවක් පවතින්නේ නම් දරුවන් බිහි කළ නොහැකිය. ස්වාමිපුරුෂයාගේ වරදකින් දරුවන් නැති වුවද එහි අපහාසය ද විඳින්නට වන්නේ කාන්තාවටයි. මෙවැනි නින්දා අපහාස වැඩිපුරම ලැබෙන්නේ ස්වාමිපුරුෂයාගේ පාර්ශවයෙනි. 

විවාහ ජීවිතය තුළ කාන්තාවට විශාල වගකීම් ප්‍රමාණයක් හිමිවේ. දරුවන් බිහි කිරීමට, ඔවුන් පෝෂණය කිරීමට, කෑම පිසීම, රෙදි සේදීම, ගේදොර පිරිසිදුව තබාගැනීම හා රැකියාවට යෑම යන ආදී විශාල වැඩකටයුතු ප්‍රමාණයක් කාන්තාව අතින් ස්වාමි පුරුෂයාට හෝ නිවසට සිදු වේ. නමුත් බහුතරයක් වූ  ස්වාමිපුරුෂයන් සිදුකරන්නේ රැකියාවට ගොස් පැමිණ නිදා ගැනීම හෝ මහන්සියට වාඩිවී සිටීමයි. නමුත් රැකියාවට යන ගැහැණිය රැකියා කටයුතු අවසන් කොට නිවසට පැමිණ තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ලක්ම තම මහන්සිය නොතකා සිදුකරයි. ඇයට ප්‍රමාණවත් නින්දක් නොලැබේ. සමහර පුරුෂයන් තම බිරිඳට තිරිසනුන්ට මෙන් පහර දෙති. මෙවැනි තත්වයන් තුලදී පිරිමි පාර්ශ්වයේ නිසි ලෙස යුතුකම් ඉටු වනවා ද යන ප්‍රශ්නය මතුවේ.


ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, විනයගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් මේ කරුණු හතරම කාන්තාව හා සම්බන්ධ වේ. කාන්තාව නිසා විනය ගරුක සමාජයක් ගොඩනඟා ගන්න පුළුවනි. සතුටින් ජීවත් වන පවුලක් කියන එකේ කාන්තාව මූලික තැනක් හිමිකර ගනියි.වර්තමානයේ කාන්තාව බුද්ධියෙන් හා උගත්කමින් පුරුෂ පාර්ශවය හා සමානව සමාජය තුළ කටයුතු කිරිමට යොමු වී ඇත. යල් පැන ගිය සංස්කෘතියෙන් ඔබ්බට ගිය කාන්තාව ගැන ඇත්තෙන්ම සතුටු විය යුතු කරුණකි.

Saturday, October 3, 2020

 රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම කෙරෙහි බලපාන සාධක

රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය ගැන සාකච්ඡා කිරීමට පෙර ප්‍රචණ්ඩත්වය කුමක්ද යන්න පැහැදිලි කළ යුතු ය. එබැවින් ප්‍රචණ්ඩත්වය යනු මනුෂ්‍යයාගේ හෝ භෞතික පරිසරයේ යහ පැවැත්ම විනාශ කර දමන කුමන හෝ සංසිද්ධියක් හෝ දෙයක් යන්නයි. මෙකී ප්‍රචණ්ඩත්වය ජනමාධ්‍ය තුළ ප්‍රචණ්ඩ වන ආකාරය විමසා බැලීම වැදගත් වේ. ජනමාධ්‍ය ගත් කල ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත යනාදිය ඇතුළත් වේ. මෙකී ජනමාධ්‍යය පුද්ගල මනස හැසිරවිය හැකි අවියක් බවට පත් වී ඇත. එනම් ගුවන්විදුලිය,  රූපවාහිනිය, පුවත්පත ප්‍රබල සමාජානුයෝජන වාහකයන් බවට වර්තමානය තුළ පත්වී ඇත. මේ නිසා ඉහත දැක්වූ මාධ්‍යයන් මගින් කුමන හෝ සංදේශයක් පිට වන්නේ ද ඒ අනුව හැඩගැසෙන ග්‍රාහක පිරිසක් වර්තමානයේ සිටී. මෙයින් අදහස් වන්නේ විචාරශීලී ග්‍රහක කොට්ඨාසයේ මදිකම ය. ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය යන ජන මාධ්‍යයන් වලින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වය අවම මට්ටමක දැකිය හැකි වන්නේ ගුවන් විදුලිය තුළ ය. එය ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා වෙනි. නමුත් පුවත්පත, රූපවාහිනිය යන මාධ්‍යයන් තුළින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වය වඩාත් හොඳින් දැක ගත හැකිය. මෙමගින් අදහස් ගන්වනුයේ ජනමාධ්‍ය ප්‍රචණ්ඩ නොවන බවත් ජනමාධ්‍ය තුළින් ග්‍රාහක ගතකරන සන්දේශවල ප්‍රචණ්ඩත්වය අන්තර්ගත වී ඇති බවත්ය. නිදසුනක් ලෙස ගතහොත් රූපවාහිනිය ප්‍රචණ්ඩ නොවේ. රූපවාහිනිය මගින් ලබාදෙන සංදේශ තුළ ප්‍රචණ්ඩත්වය ගැබ් විය හැකිය. එසේනම් රූපවාහිනී මාධ්‍ය තුළ දැකගත හැකි ප්‍රචණ්ඩත්වය පහත පරිදි විමසා බැලිය හැකි ය


විදේශීය රටවල නිෂ්පාදිත ටෙලිනාට්‍ය විකාශනය වීමෙන් රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වේ. ලංකාවේ නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය වලට අමතරව විදේශීය රටවලින් මෙරටට ටෙලි නාට්‍ය ගෙවා විකාශනය කිරීමක් වර්තමාන රූපවාහිනී නාලිකා මගින් දැකගත හැකිය. මේ අතර ඉන්දීය ටෙලි කතා විශේෂිත වේ. සැබැවින්ම මෙම ටෙලිකතා මගින් ප්‍රචණ්ඩත්වයක් ඇති වනවාද යන්න ප්‍රශ්නයක් බොහෝදෙනාට ඇති වේ. එයට පිළිතුර වන්නේ මෙසේ ය. විශේෂයෙන්ම ඉන්දීය ටෙලි නාට්‍ය වල විවිධ වස්තු විෂයන් යොදා ගනිමින් නිර්මාණය කළද එය තුළ ගැබ් වී ඇත්තේ ක්‍රෝධය, වෛරය, පලි ගැනීම, අ සන්තෝෂය ය ආදී අකුසල ස්වභාවයන් ය. නිදසුනක් ගතහොත් සිරස නාලිකාව තුළ විකාශනය වන ප්‍රවීනා,  ප්‍රේම දඩයම, මේ ආදරයයි වැනි ටෙලි නාට්‍ය තුළ ඉහත දැක්වූ ස්වභාවයන් වඩාත් හොඳින් අන්තර්ගත වී ඇත. මෙකී ටෙලි නාට්‍යය කුඩා දරුවා පටන් මහලු වයසේ සිටින වැඩිහිටියන් ද නැරඹීමට රුචිකත්වයක් දක්වයි. එසේ නම් කුඩා දරුවා තුළ මහලු අය තුළ ඉහත දැක් වූ අකුසල ස්වභාවයන් ගොඩනැගෙන්නේද ?  එනම් මෙයයි මාධ්‍ය තුළ ඇති වන ප්‍රචණ්ඩත්වය. 

රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වය දැක්විය හැකි තවත් අවස්ථාවක් වන්නේ දාමරික ක්‍රියාවන්/ වීරත්වය ආරෝපණය කිරීමයි. මෙය වඩාත්ම දැකගත හැකි වන්නේ දමිළ චිත්‍රපට හා හින්දි චිත්‍රපට තුළ ය. එවැනි චිත්‍රපට තුළ අඩංගු වන්නේ තම එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීමට සටන් වැද හෝ ඉටුකර ගැනීමය. ක්‍රියාදාම චිත්‍රපට තුල මෙය වඩාත් හොඳින් පෙන්වා දෙයි. මෙවැනි දෑ ග්‍රහණය කරගන්නා ග්‍රාහකයා තම සැබෑ ජීවිතය තුළ චිත්‍රපටි තුලින් ලබාගත් දෑ අනුගමනය කිරිමට පෙළඹේ. එබැවින් ලාංකිකයන්ගේ විචාරශීලී ග්‍රාහකත්වය කෙබඳු මට්ටමක පවතින්නේ ද යන්න වඩාත් හොඳින් පැහැදිලි වේ. 

ඒ වගේම අපරාධ පිළිබඳ තොරතුරු ඡායාරූප සහිතව ඉදිරිපත් කිරීම මාධ්‍ය ප්‍රචණ්ඩත්වයට හේතු වන කරුණකි. පුද්ගල මිනී මැරීම්, මංකොල්ල කෑම්, දූෂණ, වංචා කිරීම් යනාදී අපරාධයන් නිරූපණය කිරීම මගින් ප්‍රචණ්ඩත්වයක් ඇති වේ. මේ සඳහා විවිධ රූපවාහිනී නාලිකා මගින් වෙනම වැඩසටහන් ද නිර්මාණය කර ඇත. " ඇඟිලි සලකුණු, තෙවැනි ඇස " යනාදී වැඩසටහන් වේ. මෙකී වැඩසටහන් මගින් යම්කිසි අපරාධයක් සිදු කරන ආකාරය සවිස්තරාත්මකව නළු නිළියන් යොදා ගනිමින් පෙන්වයි. කෙසේද මිනීමැරුමක් සිදු කරන්නේ ? කෙසේ ද සාක්ෂි වසන් කරන්නේ ? යන ආදී සියල්ලක්ම පාහේ එහි දී පෙන්වයි. රූපවාහිනී මාධ්‍ය අරමුණ වන්නේ රට තුළ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බව පෙන්වීමය. නමුත් සිදු වන්නේ කුමක් ද? තව තවත් රටේ අපරාධ වර්ධනය වීමක් දක්නට ලැබීමක් පමණි. එසේ නම් තව තවත් අපරාධ සඳහා පෙළඹවීම ප්‍රචණ්ඩත්වයක් නොවන්නේද ?

දේශපාලනික වැඩසටහන් තුළින් ද රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වයක් නිරූපණය වේ. වර්තමාන සමාජයේ ප්‍රධාන මාතෘකාව වන්නේ දේශපාලනයයි. සෑම රූපවාහිි නාලිකාවකම ප්‍රවෘත්ති වැඩසටහන් තුළ ප්‍රධාන මාතෘකාව වන්නේ දේශපාලනයයි. එසේ නොමැති නම් දේශපාලඥයන්ගේ හිස් වචන ය. ඒ වගේම සෑම නාලිකාවකම වාගේ දේශපාලන වැඩසටහන් දැකගත හැකිය. නිදසුන් ලෙස 360°, සටන, බලය, සලකුණ, රතු ඉර යනාදිය දේශපාලන වැඩසටහන් සදහා නිදසුන් වේ. එහිදී දේශපාලනඥයන් ගෙන්වා රටේ දේශපාලන තත්ත්වය ගැන විමසනවාට වඩා එක් එක් දේශපාලනඥයන්ට වැරදි පැටවීම, බැනවැදීම, චරිත ඝාතනය කිරීම, හිස් වචන කතා කිරීම යනාදී ස්වරූපයන් දැක ගන්න පුළුවනි. මේවා නරඹන ප්‍රේක්ෂකයා තුළ එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි හෝ දේශපාලඥයන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ඇති වේ.එමෙන්ම තමන් කැමති පක්ෂයේ වෙනුවෙන් ජනතාව ගහමරා ගැනීමට, රණ්ඩු සරුවල් කිරීමට පවා පෙළඹීමට වැඩි ඉඩක් ගනී. 

රූපවාහිනී මාධ්‍ය තුල ප්‍රචණ්ඩත්වය නිරූපණය වන තවත් අවස්ථාවක් වන්නේ ලිංගිකත්වය වැනි දෑ හුවා දැක්වීමයි. ඒ අතර අසභ්‍ය දර්ශන, අඩ නිරුවත් දර්ශනය වැනි සන්දේශ ග්‍රාහක ගත වන විට සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අසහනකාරී තත්ත්වයන් ඇති කරයි. හින්දි චිත්‍රපටි වල අසභ්‍ය දර්ශන, මත්පැන් පානය කිරීම, අඩ නිරුවත් දර්ශන වඩාත් හොඳින් නිරූපණය කරයි. විශේෂයෙන් හැදෙන වැඩෙන කුඩා දරුවන් මේවා නැරඹීමට කුතුහලයක් දැක්වීමත් ඔවුන්ට ඉගෙනීම වෙනුවට අසභ්‍ය දර්ශන නැරඹීමට, මත්පැන් පානය කිරීමට යනාදී ඇබ්බැහිකම් වලට හුරු පුරුදු වීම වර්තමාන සමාජය තුළ අසන්නට දක්නට ලැබේ. එමගින් ඔවුන් මානසිකව හෝ චර්යාමය අසහනකාරී තත්ත්වයට පත් වේ. එසේ නම් මෙය මනුෂ්‍යයා හෝ මනුෂ්‍යයාගේ යහපැවැත්ම බිඳ දමන ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් නොවන්නේද ? 

ඉහත දැක්වූ කරුණු අනුව පෙනී යන්නේ රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වය ඇති වෙන අවස්ථාව ය. මෙකී අවස්ථාවන් පාලනය කිරීමට මාධ්‍ය ආයතන මෙන්ම රජයේ විසින් පියවර ගැනීම වඩාත් වැදගත් වේ. එපමණක් නො ව එනම් ග්‍රාහකයාගේ විශ්ලේෂණාත්මක හැකියාව හා වින්දනීය හැකියාව ඉහළ මට්ටමකට නංවාගැනීම ඉතාමත් වැදගත් වේ. එමගින් ස්වයං විචාරය, ස්වයං අැගයීම, ස්වයං නියාමනය හා ස්වයං වාරණය ක්‍රියාත්මක කළ හැකි ය.