Monday, July 25, 2022

ගොළු හදවත ගැන මෙසේ ලියන්නට සිතුණි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් එක් සිනමා කෘතියක් ලෙස ගොළු හදවත මෙසේ ප්‍රථමයෙන් හඳුන්වා දෙන්නෙමි. මෙම සිනමා කෘතිය ගැන ලියන්නට සිතුනේ දමයන්ති ගැන බොහෝ දෙනා පළකළ සෘණාත්මක අදහස් නිසාවෙනි. මගේ හිතේ බුරබුරා නැගුනේ ඇත්තෙන්ම ගොළු හදවතේ දමයන්ති ගැන සෘණාත්මක අදහස් ගෙන එන අයගේ අදහස් සත්‍යය දැන විමසීමයි.

කාලයක් තිස්සේ බලන්නට කැමැත්තෙන් සිටි එක්තරා සිනමා කෘතියක් වූ ගොළු හදවත බලා අවසන් වූ පසු  මගේ හදවතද විනාඩි ගණනාවකට ගොළු කළේය. ඇත්තෙන්ම මට අවශ්‍ය වූයේ දමයන්ති මොනවගේ චරිතයක්ද? ඇය සුදත්තව ලෝකයක අතරමං කිරීමේ වගඋත්තරකාරියක් වන්නේ කුමක් නිසා දැයි ආදී වශයෙන් කාලයක් අපේ දෙමව්පියන් මෙන්ම තවත් සමහර අය පැවසූ වදන් වල සත්‍යය සොයා බැලීමට මට අවශ්‍ය විය.

ලෙස්ටර් ජේම්ස් මහතා කතාවේ ආරම්භය ගන්නේ "ඇයි දමයන්ති මට මෙහෙම කෙරේ" කියාය. එකී වදන් තුළ මාගේ සිත තුළ ඇති වූයේ දමයන්ති ගැන වරදකාරී ස්වරූපයක් ය. කතාව පාසලක් තුල සිදුවන ප්‍රේමයක් මුල් කොට ගෙන සරල සංකල්පයක් මත කතාව ගලා යන්නේ ය. කතාව ඇතුළට කිඳා බැස සිටි මම ද මගේ පාසල් කාලෙට ගෙන යාමට ද යාමට ද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමත් වී ඇත. මා පමණක් නොව මෙය කියවන ඔබටත් එසේ සිතෙන්නට ඇතැයි මම සිතමි. 

" දමයන්ති " දඟකාර කෙලිලොල් යුවතියක් වන අතර "සුදත්" නිහතමානී , ඉගෙනීමට දක්ෂ, වැඩි කතාබහක් නොමැති අයෙකි. සුදත්ගේ සිත සොරාගත් ගැනීමට දමයන්ති මුල් විය. වැඩිපුරම කැමරා කෝණය දිස්වන්නෙ සුදත්ගේ සිත කෙරෙහිය. සුදත්ගේ ආදරය, ඒ බැල්ම කෙරෙහිය. දමයන්ත දෙසට යොමු වන්නේ ඇය තම පාසල් කාලය ගෙවා ගැනීමට ඔහුව ආශ්‍රය කරන බවත්, ඇය කුමක් හෝ දෙයක් වසන් කරන බවත්, දඟකාර යුවතියක් ලෙසටය. 

කතාව රස විඳින අතරතුර මා තුළ සුදත් ගැන ඇති වූයේ දැඩි අනුකම්පාවක් වන අතර දමයන්ති දෙස වරදකාරී හැඟීමකින් මා ඇය දෙස බැලුවෙමි. මා පමණක් නොව කතාවේ මුල සිට මැද කොටස පමණ වන තෙක් නැරඹූ ඔබට ද එසේ සිතෙන්නට ඇතැයි මම සිතමි. නමුත් කතා අවසානයේදී දමයන්තිගේ චරිතය මගේ හදවතට ම මහත් දුකක් ඇති කළාය. කිම ද යත් කිසිවෙකුට නොපැවසු වු ගොළු හදවත දමයන්තිගේ යැයි හැඟුණු නිසා ය. ඇය ද සුදත් තරමටම ආලය කළාය. සුදත් වෙනුවෙන් ඇය ද කදුළු සැලුවාය. ආලය සුදත්ට පමණක් නොව මහමෙරක් සේ ය. වරෙක ඇය ප්‍රකාශ කර සිටියේ සුදත්ගේ ආශ්‍රය නැතිවම බැරි වූ බවයි. නමුත් ඇය සුදත්ගෙන් වෙන් වන්නේ ඇය සුදත්ව රැවටු නිසයි. උසස් පෙළ විභාගය අවසන් වී සුදත්ට ප්‍රකාශ කරන්නේ ඇය ආදරේ සෙල්ලමකට ගත් බවයි. මට ද ඒ මොහොතේ දමයන්ති ගැන ඇති වුයේ කේන්තියකි. 

සත්‍ය කතාව ප්‍රකාශ වන්නේ කතාව අවසානයේ දමයන්ති සිතින් සිතන කොටසේදීය. සැබවින්ම කුඩා කල සිට ඇයව තම මස්සිනාට ගෙවල් වලින් ජෝඩු කර තිබුණි. ඇයට මස්සිනාගේ ආලය නොදැනුණුණි. ඇයට අවශ්‍ය වූයේ ආදරයයි. තරුණ වයසේ පසුවන යුවතියක් වන දමයන්තිට සුදත් වැනි අහිංසක කෙනෙක්ට  හිත යන්නේ ඒ ඒ කාලවල දී සිදුවෙන ආකර්ෂණයත්  සමඟය. 

නමුත් මම මෙහිදී දමයන්ති සුදත්ට මුල සිටම මුසා පැවසූ බව නිවැරදි නොකරමි. නමුත් ඇයට එසේ එසේ කරන්නට හේතුවක් තිබුණි. ගෙවල් වලින්ම මස්සිනාව ජෝඩු කර තිබුණ නිසා සුදත් ලන් වීමට පෙර ඇය ඔහුට ළං නොවී සිටීමට ඉඩ තිබුණි. ඇය අතින් වරදක් සිදු විය. නමුත් ඇය සුදත්ට සැබවින්ම ආලය කළ බව කිසිදා නො පැවසීය. එසේ පැවසුව නම් සුදත් දැන් සිටින තත්ත්වයට වඩා වෙනස් ස්වරූපයකින් ආවේශ වන්නට පුළුවනි. දමයන්ති විවාහ වූ පසු සුදත් ඇය වෙනුවෙන්ම සිත සිතා,මත්පැන් පානය කරමින් තම රැකියාව ද අහිමි කර ගත්තේය. දමයන්ති පැමිණ සුදත් ගෙන් ඉල්ලා සිටින්නේ අයියාගේ නිවෙසට යන ලෙසය. ඒ අවස්ථාවේ දී පවා දමයන්ති සුදත් ඉදිරිපිට නිවැරදි වන්නට යන්නේ නැත.  එදා පැවසූ දේ ඒ ආකාරයට ම තිබෙන්නට හැර ඇය නික්ම ගියා පමණි. අප්‍රකාශිත ආදරය ඇය තුළින් පිළිබිඹු කරන්නට ලෙස්ටර් ජේම්ස් මහතා අතිශය දක්ෂ වී ඇත. කතාව නරඹා අවසානයේ මගේ හිත මොහොතක් නතර විය. දමයන්ති වැනි චරිත සුදත් වැනි චරිත අද ලෝකයේ කොයි තරම් ඇත් දැයි මගේ සිතට නැගුණි. අපි බොහෝ දෙදෙනා අතර ළං කර ගන්නටත් බැරි, දුරින් තියා ගන්නටත් බැරි, එක මොහොතක් සිත අතරමං කරන ප්‍රේමයන් කොයි තරම් ඇත් ද?

මුතු