දැවෙන විහඟුන්හි නිරූපිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය
ලාංකේය සිනමාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය
සිනමාව හුදෙක් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල මාධ්‍යයකි. සිනමාව මගින් සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් සියුම් ලෙස ප්‍රේක්ෂකයා අතරට ගෙන හැර දැක්විය හැකිය. සිනමාකරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සමාජ යථාර්ථයන් සිනමාව ඔස්සේ කලාත්මකව, සංඥාර්ථවේදීව ප්‍රේක්ෂකයා වෙතට මුදා හැරීමයි. ලාංකීය සිනමාව තුළ සිනමා කෘතීන් සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නේ කාන්තාවයි. පුරුෂ බැල්මෙන් ගොඩනැගුණු සමාජයක ස්ත්‍රියට සමාජයේ පවතින ස්ථානය ලාංකීය සිනමාව ඔස්සේ නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් ඉතාමත් දක්ෂ වී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතීතයේ සිට වර්තමානය දක්වා ම ඉන් ඉදිරියටත් පැවැති යන්නෙකි. මෙකී මාතෘකාවක් කැමරා කෝණයන්ට හසුකර ගනිමින් ප්‍රේක්ෂකයාගේ මනස සමග සිංහල සිනමා බොහෝදුරට ගනුදෙනු කරයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්වභාවිකව බිහිවූ දෙයක් නොව එය සමාජ හා මානව විද්‍යාත්මකව සමාජය හා සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු දෙයකි. ලාංකීය සමාජය තුළ ස්ත්‍රියට හිමි වී ඇති ස්ථානය, එකම රටක වුවද නගරබද හා ග්‍රාමීය ස්ත්‍රියට හිමි වී ඇති තත්වය, සමාජ පන්ති තුළ කාන්තාවට හිමි වී ඇති ස්ථානය, ජාතිය, ආගම, කුලය, අධ්‍යාපනය, ආර්ථිකය, පවුල, දේශපාලන, මාධ්‍ය, නීතිය යන ක්ෂේත්‍රයන් තුළ කාන්තාවට හිමි වී ඇති ස්ථානය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එකී සාධක මත පදනම්ව ලාංකීය සිනමාකරුවන් විවිධ සිනමා කෘති නිර්මාණය කිරීමට පෙළඹී ඇත. ඒ අතර හුස්ම, දඩයම, සුළඟ ගිනි අරන්, දැකල පුරුදු කෙනෙක්, බොරදිය පොකුණ, ඉඟිළෙන මාළුවෝ, ඔබ නැතුව ඔබ එක්ක, නිකිණි වැස්ස, තනි තටුවෙන් පියාඹන්න යනාදී සිනමා නිර්මාණය මෙවැනි සාධකයන් ඔස්සේ බිහි වූ සිනමා නිර්මාණයන් ය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සිනමාව ගැන සාකච්ඡා කිරීමේදී අමතක කල නොහැකි සිනමා නිර්මාණයක් ලෙස දැවෙන විහඟුන් හඳුන්වාදිය හැකිය. සංජීව පුෂ්පකුමාරයන් විසින් අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය ඇසුරින් ස්ත්‍රි පුරුෂ සමාජභාවය නිරූපණය කර ඇති ආකාරය මින් ඉදිරියට සාකච්චා කර බලමු.
හැඳින්වීම
ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය අගනා චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ සංජීව පුෂ්පකුමාරගේ දෙවන සිනමා දිගහැරවුම වූයේ දැවෙන විහඟුන් ය. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය මෙන්ම දැවෙන විහඟුන් සිනමා නිර්මාණය ද සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ සිනමා නිර්මාණයකි. 2018 ජූනි 29 වන දින සිට ලාංකේය සිනමා ශාලාවල තිරගත වූ දැවෙන විහඟුන් අධ්‍යක්ෂණය, තිර පිටපත් රචනය යන කර්තව්‍යය දෙකම සිදු කළේ සංජීව පුෂ්පකුමාරය. නිෂ්පාදනය ද සංජීව පුෂ්පකුමාර හා ඇන්තෝන ඩෙඩෙට් යන දෙදෙනාය. දැවෙන විහගුන් සිනමා නිර්මාණය ලාංකීය මෙන්ම විදෙස් සම්මාන උදෙසා නිර්මාණය වූවකි. 2016 වසරේ බූසාන් සිනමා උළෙලේ තරගකාරී අංශය ලැබෙන දැවෙන විහඟුන් නියෝජනය කළේය. ඒ වගේම ටෝකියෝ film X සිනමා උළෙලේ දී ජූරියේ විශේෂ සම්මාන අංශය දෙවැනි ස්ථානය දැවෙන විහඟුන් ට හිමිකර ගත හැකි විය. ශ්‍රී ලංකාවේ මෙන්ම නොව කටාර්, ප්‍රංශය, නෙදර්ලන්තය යන රටවල්හි ද දැවෙන විහඟුන් ප්‍රදර්ශනය විය.
තේමාව
දැවෙන විහඟුන් චිත්‍රපටය කතා වින්‍යාසයට පාදක වන සිද්ධිදාමය වන්නේ 80 දශකය අගභාගය ලංකාවේ නැගෙනහිර පළාතේ සිදු වූ, තමාට ද අත්දුටු සත්‍ය සිදුවීම් දාමයක් බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වරෙක සඳහන් කර ඇත. ජීවිතයේ ඇති කර්කශ බව මනා ලෙස ජීවන විවරණයක් ඔස්සේ පෙන්වා දී ඇත. 88-89 භීෂණ කාලේ පියෙකුගේ වියෝව සමග පවුලක් අනාථ වූ සැටි මේ චිත්‍රපටයේ නිරූපණය වේ. අරගලකරුවෙකු (සුනිල්) නාදුනන කණ්ඩායමක් එනම් පැරා හමුදා කණ්ඩායමක් අතින් ඝාතනයට ලක් වූ පසුව බිරිඳ වන කුසුම් සුනිල්ගේ මව සහ දරුවන් සමග ජීවත් වීමට උත්සාහ කරන අන්දම චිත්‍රපටයට වස්තු විෂය වී ඇත. සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවකට සමාජයේ ජීවත් වීමේදී ඇතිවන තාඩන පීඩන, ලිංගික සූරාකෑම සිනමා නිර්මාණයේ පුෂ්පකුමාර එය ප්‍රබල ලෙස නිරූපණය කොට ඇත. මේ කතාව දිවයන්නේ ප්‍රධාන චරිතයට පණ ගන්වන කුසුම් තම දරුවන්ව පෝෂණය කිරීමට දරන වෙර ය. කතා සන්දර්භය කුසුම් වටා අළලමින් කුතුහලයක් මෙන්ම පාඨක හදවත් තුළ කරුණා රසයක් ඇති කරමින් කතාව ගලා යයි. සාමාන්‍ය ජීවිතයේදී අප අතරම ජීවත්වන මෙවැනි තවත් කුසුම් වැනි චරිත සිටිනා බව කතාවෙන් ප්‍රකාශිත ය.
චරිත හැඳින්වීම
කුසුම්
දැවෙන විහඟුන්හි ප්‍රධාන චරිතය පණ පොවන කුසුම් පෘථුල සමාජයටම සංකේතයකි. විශ්වයේ සිටින සෑම ගැහැනියක් තුළම කුසුම් වැනි චරිත සිටි. ඇය උදාර මවකි. එනම් තම සැමියා වන සුනිල් පැරා හමුදාවක් මගින් පැහැර ගොස් ඝාතනය කර දා පටන් ඇය සැමියා නොමැතිව ළමයි අටදෙනෙකු පෝෂණය කිරීමේ වගකීම භාර ගත්තේය. තම දරුවන් පාසල් යවන්න, කන්න බොන්න, අඳින්න පළඳින්නට ඇය නොයෙකුත් රැකියාවන් සොයා යයි. සැමියා නොමැතිව ජීවත්වන කුසුම් කෙරෙහි එල්ල වන පුරුෂ බැල්ම ඇයගේ ජීවන ගමනට බාධාවක් වුවද ඇයට අවසන් මොහොතේදී ලිංගික ශ්‍රමය සැපයීමට සිදු වෙයි. ගමේ මිනිස්සු ඇයට ගල් ගසන්නේ, ඇයව පිළිකුල් කරන්නේ තමන්ගේ ඇඟ විකුණා කන වෛශ්‍යාවක් බවට ය. ඇයට සැමියා අහිමි වූ විට උදව්වකට සිටියේ සුමනා වන ඇගේ මිතුරිය පමණි. දරුවන් අට දෙනෙකු පෝෂණය කර ගැනීමට නොහැකිව සිටි වාර ගණන අනන්තය. නමුත් එක් ගම් වැසියෙකු ඇයට උදව්වට සිටියේ නැත. නමුත් ලිංගික ශ්‍රමය සැපයූ විට ඇයව වෙසඟනක් බවට පත්කර ගමෙන් ද පන්නා දමන්නට ගමේ මිනිසුන් කදිමය.
ඇයගේ පළමු රැකියාව වූයේ ගල් වැඩපලක ගල් කඩන රකියාවක් ය. එතනින් පසුව දෙවැනි රැකියාව වූයේ ගව ඝාතනාගාරයක් පිරිසිදු කිරීමය. එතනින් එල්ල වූ පුරුෂයාගේ රාගික බැල්ම නිසා ඇයට මුදල් සෙවීමට හැකි එකම මඟ ලෙස සැලකුනේ ලිංගික ශ්‍රමය අලෙවි කිරීම ය.
ඇය උදාර මවකි. තමන්ගේ ලොකු දියණියව වන වාසනා ද කිසිදු රැකියාවකට නොයවා ඉගැන්වීමට වෙර දැරුවේය. ඇය සෙනෙහෙවන්ත බිරිඳකි. සුනිල්ගේ මියයාමෙන් පසුව කිසිදු පිරිමියෙකු නොපතා තනිව ජීවත් වීමට උත්සාහ කළාය. සුනිල්ගේ මව ද රැක බලා ගත්තාය. ඒ වගේම ඇය සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවට යාමේදී සිය සැමියාගේ පින්තූරය දෙස බලා ආයාචනාත්මක ලෙස සමාව අයැදීම නිර්මාණකරුවා ඉතාමත් සංකේතානුසාරයෙන් දක්වා ඇත.
ඇය නිහතමානී චරිතයක් විය. හන්දිය කඩේ මුදලාලි සුනිල්ට මරණය කැඳවූයේ පාසලේ විදුහල්පතිතුමා ලෙස පැවසුවද ඇයගේ පසුපස ගියේ නැත. විදුහල්පතිතුමාගෙන් පළිගන්නට ඇයගේ නැත. චිත්‍රපටය අවසානයේ දී යක්ෂණියක් බදු වූ කාන්තාවක් බවට පත් විය. මක් නිසා ද යත් ඇයට මෙතරම් කරදර, තාඩන පීඩන සිදුවූයේ විදුහල්පතිතුමා තම සැමියාව බිල්ලට හසුකර දීම නිසා ඇය විදුහල්පතිතුමාට පිහියකින් කොටා මරා දමයි. විදුහල්පතිතුමාට පිහියෙන් අනින අනින වාරයක් පසා ඇය විදී දුක ඇයගේ මුහුණෙන් ප්‍රකාශිත ය.
වාසනා
කුසුම්ගේ වැඩිමහල් දියණිය වන්නේ වාසනා ය. ඇය අනෙක් දරුවන් හත් දෙනාට වඩා වයසෙන් වැඩිය. ඇයට සමාජය ගැන දැනුමක් පවතී. පියාගේ මරණින් පසුව මව ජීවත් වීමට මඟක් සොයන අවස්ථාවේ දී ඇය කොළඹ ඇඟලුම් කර්මාන්තයක රැකියාවක් යාමට කැමති බව ඇය මවට යෝජනා කරයි. බවට හිතාදර දියණියකි. මව ගැන නිරන්තරයෙන් සැලකිල්ලෙන් සිටි. මවගේ අත්වල රෑට තෙල් ගා හිත සනසයි. වරෙක ඇය විවාහ වීමට කැමැත්තක් දක්වයි. "අම්මට කසාද බඳින්න ඕන" එසේ පවසන්නේ අම්මා ඔවුන්ව පෝෂණය කිරීමට දරන වෙහෙස මහන්සිය දැකය.
තවත් විටෙක ඇය අනෙක් සහෝදර සහෝදරියන්ගේ ලොකු අක්කා ය. මව රැකියාවට ගිය මොහොතේ පටන් නංගිලා මල්ල රැක බලා ගත්තේ, කවා පොවා හදා ගත්තෙ වාසනා ය. ඇය සෙනෙහෙවන්ත සහෝදරියක් වගේම මවට ආදරණීය ලොකු දුවකී. මව සම්බාහන මධ්‍යස්ථානයට රැකියාවක් කරන බව දැනගත් පසුව ඇය මවට රැකියාවට නොවෙනස් ඉල්ලා සිටි. සියලු බර දරාගෙන ඇය කොළඹ ඇඟලුම් කර්මාන්තයක සේවිකාවක් වශයෙන් නංගිලා මල්ලිලා රැගෙන කොළඹට යයි. ඇයත් තම මව මෙන්ම ධෛර්යවන්ත කෙනෙකි.
ගව ඝාතනාගාරයෙ මුදලාලී
කුසුම් ගැන රාගය නමැති ගින්නෙන් පෙළේ. කුසුම් ඩැහැ ගැනීමට දවස් ගණන් බලා සිටී. මුදලාලි කෙනෙක් වශයෙන් කුසුම්ගේ හිත තුළ "හොඳයි" යන නාමය ඇති කරවයි. දරුවන්ට කන්න මස් පාසලක් ලබා දීම හා ස්ථානය වැඩ කරන මිනිහෙක් ගෙන් කුසුම්ට කරදර කරන්නට පැමිණි වෙලාවේ ඇයව බේරා ගෙන හොඳ නම දිනා ගනී. නමුත් මුදලාලි අවසානයේ දී ඇයව දූෂණය කිරීමට යොමු වේ. මුදලාලි යහළුවන් සමඟ ද කුසුම සමූහ දුෂණය කරයි.
මුදලාලිගේ චරිතය තුළින් පුරුෂාධිපත්‍ය බලය පෙන්වයි. ඇය ඔහුට පාර දී පැන යාම නිසා යහළුවන් යවා ඇයව බලහත්කාරයෙන් ගෙන්වා ඇයව සමුහ දූෂණයට ලක් කරයි.
" තෝ මම කවුරු කියාගෙන ද හිතාගෙන හිටියේ"
චිත්‍රපටයේ නිරූපිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය
ශ්‍රී ලාංකික සමාජය තුළ බොහෝ සෙයින් දක්නට ලැබෙන කාරණාවක් වන්නේ තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයා නොමැතිව ගැහැනියකට ජීවත් විය නොහැකි බවයි. ලංකාවේ බහුතරයක් දෙනාගේ අදහස වන්නේ එයයි. නමුත් නූතන සමාජය තුළ කාන්තාව පැරණි සමාජයේ කාන්තාවට වඩා සිතන ආකාරයේ බොහෝ සෙයින් වෙනස් කොට ඇත. විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මිය ගිය තවත් වී පිරිමියෙක් සමග විවාහ ජීවිතයක් ගත කරන්නේ නම් ඇය සමාජයෙන් නරක ගැහැනියක් බවට පත්වෙයි. බොහෝ දෙනා පවසන්නේ "මහත්තයා මැරිලා අවුරුද්දක් බවත් ගියේ නැහැ තව එකෙක් බැඳගෙන" යන වදන් අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. ගැහැණියට පිරිමියෙක් නැතුව සමාජය අනාරක්ෂිත බවක් පවතියි බව සමාජයේ මතයයි. එම මතය ගොඩනඟා ඇත්තේ සමාජයේ සිටින හුදෙක් පිරිමි පාර්ශ්වයයි. පිරිමියෙකුගේ රාගික බැල්ම වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් යොමු වන ඉඩ ප්‍රස්ථාව අධිකය. රැකියා ස්ථානයකි දී, පොදු ප්‍රවාහනයේ දී, සමාජ කටයුතුවලදී, පවුල නෑදෑ හිතවතුන් අතර දී ගැහැණිව අඩත්තේට්ටම්, හිංසනයන්, දූෂණයකට ලක් විය හැකිය. විශේෂයෙන් රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානියාගේ බැල්මට කාන්තාවන් යොමු වේ.
දැවෙන විහඟුන්හි කුසුම් ද තම ස්වාමියා අහිමි වූ කාන්තාවකි. ඇය ගව ඝාතනාගාර ස්ථානය පිරිසිදු කිරීමට රැකියාවක් වශයෙන් තෝරා ගනී. ප්‍රධානියා මුලින්ම ඇයට කරුණාවන්ත කෙනෙක් බව පෙන්නුම් කරයි. ඔහුගේ යාලුවන්ට ද පවසන්නේ "පව් ළමයි අට දෙනෙක් ඉන්නවා" කියාය. ඇය කෙරෙහි අනුකම්පා ස්වරූපයක් හෙලුව ද ඔහුගේ යටි හිතේ අභිප්‍රාය වූයේ ඔහුගේ මත් වු රාගයට ඇයව හසු කර ගැනීමයි. ඇය ඇඳුම් මාරු කරන ස්ථානයට පැමිණි විට ඔහුව තල්ලු කර ඇය දිව ගිය පසු ඔහු ඇයව ආමන්ත්‍රණය කරන්නේ "පට්ට වේසි" යන්නයි. ඔහුගේ අභිප්‍රාය ඉටු නොවුණු නිසා ඔහුට ඇය පට්ට වේසියෙකි. නමුත් වැඩ පිලට පැමිණි මුල් දිනයන් වලදී ඇය දරුවන් අට දෙනෙක් සමග තම ශක්තියෙන් රැකබලාගන්නා අහිංසක ගැහැනියකි. සමාජයේ පිරිමියා සිතන ආකාරය පුෂ්පකුමාර සියුම් ලෙස ගෙන හැර පා ඇත. එවැනි අවස්ථා උද්දීපනය කොට පෙන්වීමට යොදාගත් කැමරා කෝණයන් ද ඉතා අගනේය.
ස්වාමිපුරුෂයා මියගිය කාන්තාව සමාජය තුළ අසරණය. පුරුෂාධිපත්‍ය එනම් ගව ඝාතනාගාර ප්‍රධානියා තම පුරුෂාධිපත්‍ය පෙන්නුම් කරයි. ඔහුගේ දැවෙන රාගයෙන් පළමුව ඇය මිදී ගිය පසු ඔහු මිත්‍රාදීන් ලවා ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ඇයව ප්‍රධානියාගෙන් පමණක් නොව ඔහුගේ මිත්‍රයන්ගේ ද දැවෙන රාගයට දමාලයි.
"තෝ මම කවුරු කියාගෙන ද හිතාගෙන හිටියේ" ඔහුගේ පුරුෂාධිපත්‍ය මෙමගින් සංකේතවත් වේ.
මෙම සිනමා නිර්මාණයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිරූපණය වන මා දුටු තවත් සිදුවීමක් වූයේ ඇය සම්බාහන මධ්‍යස්ථානයට තම ලිංගික ශ්‍රමය සපයන අවස්ථාවේදී ය. දිනක පොලිසිය එම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ දී ඇය ද කොටු විය. එහි සිටි වයසක පිරිමියාට බැණ එළවා ගත්ත ද කුසුම්ව පොලිස් භාරයට ගනී. පොලිස්කාරයා ඇයට කම්මුල් පාරවල් දෙකක් ද ගසයි.
"ඔබට ලැජ්ජ නැද්ද උස්මහත් ගෑනු දරුවන් ඉදිද්දි වේසකම් කරන්න."
මෙවැනි වදන් පෙළින් ඇයට බැණ වදී. කුසුම් නිරත වූයේ රැකියාවකය. සමාජයේ අපි ආයතනයක් පටන් ගන්නේ ඒ ආයතනය හා සම්බන්ධ වන පාරිභෝගිකයන් සිටින නිසයි. නිදසුනක් වශයෙන් ගෙනහැර දැක් වූවහොත් අපි යම් ප්‍රදේශයක බැංකුවක් ආරම්භ කරන්නේ ඒ බැංකුව හා සම්බන්ධ පාරිභෝගිකයන් සිටින නිසාය. එසේ නම් මේ සිනමා නිර්මාණයේ දී කුසුම් සිදුකර ඇත්තේ කුමක්ද ? මෙවැනි සමාජ දෘෂ්ටිය අපි නැවත සිතන්නට යොමු විය යුතුය.
තවදුරටත් මෙම කරුණු පැහැදිලි කරන්නේ නම් මා නැරඹූ එක් කෙටි චිත්‍රපටයක් මතකයට නැගුණි. පෙටූනියා නම් කෙටි චිත්‍රපටියේ එකී ප්‍රධාන චරිතය මල්කිට ඇත්තේ පිරිමින් සමග ගණුදෙනුවකි. ඇයත් රැකියා වශයෙන් කරන්නේ ලිංගික ශ්‍රමය සැපයීමයි. එක් මොහොතකදී ඇයගෙන් තම ගනුදෙනුකරුවන් මෙසේ අසයි. "මේ රස්සාව කරන්නේ ඇයි?" ඔහු ඇසීය. ඇය ලබාදුන් පිළිතුර වන්නේ "පිරිමි ඉන්න නිසා" යනුවෙනි.
මෙවැනි අවස්ථාවලදී සමාජයේ නරක බැල්ම එල්ල වන්නේ කාන්තාවටයි. කාන්තාව ලඟට එන පිරිමින්ට කිසිදු බැල්මක් එල්ල වන්නේ නැත. චෝදනා ලබන්නෙත් නැත. මෙම සිනමා නිර්මාණය කුසුම පොලීසියට කොටු වූ දා පටන් ඇයගේ දරු පවුලට ගල් පහර එල්ල වේ. ඇයගේ නිවසේ "වේස ගෑණුන්ට මේ ගමේ ඉඩ නැහැ" යන්න කැලෑපත්තර ද ගසා ඇත. සැමියා නොමැතිව සමාජයේ අඩත්තේට්ටම් වලට ලක් වෙමින් ළමයින් 8 දෙනක් උස් මහත් කරන්නට කුසුම් ගත් වෙර ඇය සිදුකළ අවසන් රැකියාවෙන් අවසන් විය. ගමේ මිනිස්සු කියා සිටින්නේ ඇය දුක් මහන්සි වී හෝ පිරිමින්ගේ කටුක බැල්ම වල් වලට ලක් වෙමින් තම දරුවන් පෝෂණය කළ යුතු බවයි. එබැවින් ඇය උදාර මවකි. නමුත් දැන් ඇය වෙසඟනකි.
ස්ත්‍රියකගේ ශ්‍රමය අතීතයේ සිට අද දක්වාම ඉතාමත් සුවිශේෂී සාධකයකි. ධනවාදී ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවූ දේශීය ආර්ථිකයේ ප්‍රධාන උපයන්නා වී ඇත. ඇඟලුම් කර්මාන්ත, තේ කර්මාන්ත, විදේශ විනිමය, සූපවේදය, මනාලියන් ඇන්දවීම, ස්වයං කර්මාන්ත/ ව්‍යාපාර වල ප්‍රධාන ආර්ථිකයා වන්නේ කාන්තාවයි. තව ද දවසේ කුලී රැකියාවලට ද කාන්තාව තම ශ්‍රමය ලබා දෙයි. මෙවැනි කාර්යයන් වල නිරත වූව ද කාන්තාවකගේ රැකියාව පුරුෂයාගේ රැකියාවට වඩා අඩු වැදගත්කමක් සමාජය තුළින් ලබා දී ඇත.
සංජීව පුෂ්පකුමාර දැවෙන විහඟුන් ඔස්සේ කාන්තාවගේ ශ්‍රමය වැදගත් කොට පෙන්වා දී ඇත. කුසුම්ගේ ශරීර ශක්තිය, ඇයගේ ස්වයං විශ්වාසය, හිතේ ඇති දැඩි බව, තාඩන පීඩන ඔස්සේ නොසැලී සිට ගැනීම යන එකී ලක්ෂණ කුසුම් තුළින් ගෙනහැර දැක්වීමට සමත් වී ඇත. කුසුම්ගේ සැමියා මිය ගිය පසු ඇයගේ මුල්ම රැකියාව වූයේ ගල් වැඩපලක ගල් තැලිමයි. එම ගල් වැඩපළහි කුසුම් පමණක් නොව තවත් කාන්තාවන් සේවයේ නිරත වේ. සමාජයේ පිරිමියාගේ වැඩ ගැහැනියගෙ වැඩ යනුවෙන් බෙදා දී ඇත. ගැහැණිය ගෙදර දොරේ වැඩ, දරුවන් රැක බලා ගැනීම යන වැඩ ගැහැනියට ගුණ බවත් පිරිමියාට බර වැඩ කළ හැකි යන්න සමාජය විසින් බෙදා දී ඇත. දැවෙන විහඟුන්හි කුසුම් සිදු කරන්නේ පිරිමියෙකුගේ මේ වැඩ වලට සමාන වැඩය.
ඇයගේ දෙවන රැකියාව වන්නේ ගව ඝාතනාගාරයක් පිරිසිදු කිරීම ය. පළමු දවසේ ප්‍රධානියා වන මුදලාලි පවසන්නේ
"මේ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් කියලා හිතනවද? අනික කිසි ගෑනියෙක් මේ මඩුවේ වැඩ කරන්නෑ" මුදලාලි ද කුසුම්ගේ ශ්‍රමය ගැන විශ්වාසයක් නොතබා කතා කරයි. මුදලාලි එසේ ප්‍රකාශ කරන්නට ඇත්තේ සමාජය විසින් වෙන් කර දී ඇති පිරිමින්ගේ වැඩ හා ගැහැනියගෙ වැඩ යන සංකල්පය මතය.
දැවෙන විහඟුන් ඔස්සේ පුෂ්පකුමාරට අවශ්‍ය වූයේ කුසුම්අලලා කාන්තාවගේ ශක්තිය, ධෛර්යය පෙන්වීමයි.පිරිමින් විසින් කාන්තාවකට කරන්නට නොහැකි යැයි පවසන කාර්යයන් සිදු කළ හැකි බව ඔහුගේ සිනමා නිර්මාණය හරහා ගෙන හැර දැක්වීමට ඔහු උත්සාහ කර ඇත. මා සිතන ආකාරයට ඔහු ගත් උත්සාහය සාර්ථක ය.
නිගමනය
ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ බිහි වූ දැවෙන විහඟුන් චිත්‍රපටය සංජය පුෂ්පකුමාරයන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට සිනමා නිර්මාණයකි. චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතයට පණ පොවන කුසුම්ගේ චරිතය ගොඩනැගෙන්නේ පුරුෂ බැල්ම අරඹයා ලිංගිකව සූරා කන ගැහැනියක් ලෙසත් අනෙක් පැතිකඩෙන් තම ස්වාමිපුරුෂයා නොමැතිව දරුවන් අට දෙනකු පෝෂණය කිරීමට, ජීවිතය ගැටගසා ගැනීමට පොර බදින ධෛර්යය කාන්තාවක් වශයෙනි. ඇයගේ ඒ ගමනට බාධා හෙලන පිරිමියාගේ රාගික් බැල්ම හේතුවෙන් ඇයගේ ජීවිතය වෙනස් වෙන ආකාරය ඒ වගේම සමාජය තුළ ස්වාමිපුරුෂයා අහිමි වූ කාන්තාවකට හිමිවන ස්ථානය යනාදී කරුණු ඉතාමත් දක්ෂ ආකාරය දැවෙන විහඟුන් ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන ගොස් ප්‍රේක්ෂකයන්ට සිනමා නිර්මාණය තුළ කිඳා බැස්වීමට දැවෙන විහඟුන් දක්ෂ වී ඇත.
🖊️විමා...